தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
සියයට සියයක් රජයේ විශ්ව විද්‍යාල පවත්වාගෙන යන්න බැහැ - ජනාධිපති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සියයට සියයක් රජයේ විශ්ව විද්‍යාල පවත්වාගෙන යන්න බැහැ – ජනාධිපති



අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන්නන් කළ යුත්තේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බවත් එහෙත් ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යෑමට තමාද විරුද්ධ බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

උපාධියක් ගන්නා බහුතරයක් ආණ්ඩුවේ රැකියාවක් අපේක්ෂා කරන බවත් එහෙත් ආණ්ඩුවක වගකීම විය යුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බවත් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන සංකල්පයක් ලෙස හඳුන්වා දෙමින් එහි නිල වෙබ් අඩවිය (www.cu.ac.lk) විවෘත කිරීම සඳහා සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

දැනට කොතලාවල පනතට එරෙහිව ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති සහ වෙනත් බහුජන සංවිධාන පෙළ ගැසී සිටින්නේ අධ්‍යාපනය පෞද්ගලිකරණයට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය මිලිටරිකරණයට එරෙහිවයි. මුදල් ගෙවීමකින් තොරව අධ්‍යාපනය ලැබීමමේ අයිතිය සෑම දෙනාටම හිමිවිය යුතු අයිතියකි. එය අහිමි කිරීමට අමතරව අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමට ද සැරසෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වර්තමානයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඉදිරිපත් කරන ලෙස නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින පිරිස් වෙත උපදෙස් දීම විහිළුවකි.