தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
සුදුලූණු වංචාව වාර්තා කළ මාධ්‍යවේදීන් CIDට කැඳවීම අනුමත කරන්නෙ නැහැ - ඩලස් අලහප්පෙරුම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සුදුලූණු වංචාව වාර්තා කළ මාධ්‍යවේදීන් CIDට කැඳවීම අනුමත කරන්නෙ නැහැ – ඩලස් අලහප්පෙරුම



සුදුලූණු වංචාව සම්බන්ධයෙන් පුවත් වාර්තා පළකළ මාධ්‍යවේදීන්, පුවත්පත් කතුවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම අනුමත නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. අද(28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් ඩලස් අලහප්‍පෙරුම ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදීන් පවසා සිටියේ මැති ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට පවා මාධ්‍යවේදීන් බියට පත්ව සිටින බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය ඇමතිවරයා සඳහන් කළේ මෙය රජය හෝ තමා කිසිසේත් අනුමත නොකරන බවයි. කොතැනක‍ හෝ වැරැද්දක් සිදුව තිබෙන බවත්, මේ වනවිටත් එම වැරැද්ද නිවැරදි කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කරනවා. මාධ්‍යවේදීන් රහස් පොලීසිය වෙත කැඳවා ඇති බව දැනගත් වහාම අගමැතිවරයාත්, පොලීසිය භාර ඇමතිවරයාත් එය වහාම නිවැරදි කරන්නැයි උපදෙස් ලබාදුන් බවත් ඔහු පවසා තිබේ.

ආණ්ඩුවල‍ ගොරෝසු, දරදඬු, ඒකාධිපති තීරණවලට එරෙහිව පෑන අතට ගත් මාධ්‍යවේදියෙකු ලෙස තමා අද ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බැඳී සිටින බවද ඇමතිවරයා සඳහන් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීහු කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප ප්‍රධාන කාර්යාලයට ගොස් තිබුණි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ පිළිතුරු දීමට සූදානමක් නොමැති බවට ලංකාදීප ප්‍රධාන කතුවරයා දැනුම් දීම නිසා එම විමර්ශන නිලධාරී කණ්ඩායම ප්‍රශ්න කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන බව පවසා නික්ම ගොස් තිබේ.