தமிழ்
English
Contact
Sunday 20th January 2019    
‘සුවපති‘ගේ ප්‍රචාරවලින් ඇස් නිලංකාර කරගන්න එපා - නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘සුවපති‘ගේ ප්‍රචාරවලින් ඇස් නිලංකාර කරගන්න එපා – නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය



සෞඛ්‍ය සේවයට වෙන්කරන මහජන මුදලින් සෞඛ්‍ය ඇමති ප්‍රතිරූපය වැඩිකරගන්නට රෝහල් අසළ ප‍්‍රචාරක දැන්වීම්වල, විද්‍යුත් මාධ්‍ය ප‍්‍රචාරවලට ඇස් නිලංකාර කර නොගෙන නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කරගන්න පෙරට එන ලෙස ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය‘ ජනතාවගෙන් ඉල්ලයි.

ඖෂධ හිගය, නිදහස් සෞඛ්‍ය සේවයේ විනාශයක් කරමින් සිටින තත්වයක රෝගි ජනයාගේ ඉරණම සම්බන්ධව ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය‘ විසින් අද (16) මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු එසේ ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවේදී වෛද්‍ය නිලාන් ප‍්‍රනාන්දු දැක්වූ අදහස් මෙසේය.

“අපේ රටේ රෝහල් ආශ‍්‍රිතව සවිකර ඇති ඩිජිටල් පුවරු, බෝඞ් ලෑලිවලින් සහ රූපවාහිනි දැන්වීම්වලින් කියවෙන දේවල් අනුව ලංකාවෙ රෝහල්වල සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විශාල පිබිදීමක් ඇති බවක් කෙනෙකුට හිතෙන්න පුලූවන්. අලූත්ම ප‍්‍රචාරක ව්‍යාපාරයක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කරගෙන යනවා රෝහල්වල පුවරු ගහගෙන යනවා සියලූ අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කර තිබෙනවා කියලා. නමුත් රෝහලකට ගියාම රෝගී ජනතාවගෙ අත්දැකීම මොකක්ද? ඒ කියන විදියට අවශ්‍ය අවම බෙහෙත් පෙත්වත් රෝහලෙන් නිකුත් කරනවද කියන ප‍්‍රශ්නය තියෙනවා. සමහර ඖෂධ වර්ග නිකුත්කිරීම නවතා තිබෙනවා. අපි දන්නවා ගැබිණි මව්වරුන්ට සහ නිරක්තියෙන් පෙළෙන අයට දෙන යකඩ පෙති දැන් ලබා දෙන්නෙ නෑ. ඒකට හේතුව ලෙස දක්වන්නෙ ගුණාත්මකභාවය නැතිකම නිසා මෙම පෙති ලක්ෂ 20ක ප‍්‍රමාණයක් රෝහල්වලින් සහ රජයේ ඖෂධ ගබඩාවලින් ඉවත් කිිරීමයි. ප‍්‍රමිතියෙන් බාලයි කියලා මේ පෙති ඉවත්කරන්න රෝහල්වලට දැනුම් දෙනකොටත් දුරබැහැර රෝහල්වලින් මේවා ජනතාවට නිකුත් කරලා ඉවරයි. ඒ වගේම පසුගිය කාලයේ හෘද රෝගීන්ට නිකුත්කළ ඖෂධයක් ගුණාත්මක තත්වයෙන් නැති බව කියමින් භාවිතයෙන් ඉවත් කළා. ඒ බෙහෙතත් ඒ වනවිට රෝගීන්ට නිකුත් කර තිබුණා. ඒ නිසා ජීවිතාරක්ෂාවට ලබා දෙන මේ පෙති රෝගින්ට නිකුත් කරන්න නොහැකි වෙලා තිබෙනවා. විශේෂයෙන් හෘද රෝග සායනවලින්, කායික රෝග සායන හා බාහිර රෝගි අංශවලින් මේවා නිකුත් නොකරන තත්වය නිසා රෝගින් විශාල දුෂ්කරතාවකට පත්ව තිබෙනවා.
සෞඛ්‍ය ඇමතිවරයා මේ සෞඛ්‍ය සේවයට වෙන් කළ මුදලින් විශාල වියදමක් දරමින් ඖෂධ මිල අඩු කළ බවට ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යනවා. නමුත් අත්‍යවශ්‍ය ඖෂධ රෝහල්වලින් නිකුත් කරන්න බැරිව ඉවත් කර තිබෙනවා.
ඒ වගේම පහුගිය දවස්වල ඉන්ෆ්ලූවෙන්සා වසංත තත්වයකට ආවා. ඒ වෙලාවෙ ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට නිකුත් කළ ‘ඉන්හේලර්‘ වල විෂබීජ තිබීම නිසා එම ඉන්හේලර් ඉවත් කරණු ලැබුවා. රෝගීන් විශාල ප‍්‍රමණයකට ගැටලූවලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා මේ මොකද වෙන්නෙ? ඇයි මෙහෙම ඖෂධ සම්බන්ධ ගැටලූ ඇතිවෙන්නෙ කියලා අපට අහන්න සිදු වෙනවා. මේ ඖෂධ කියන්නෙ අධික ලාභ ඉපදවිය හැකි වෙළදාමක්. ඖෂධ ව්‍යාපාරිකයන් අධික ලාභ උපයන්නෙ රෝගි ජීවිතවලින්.
පහුගිය සැප්තැම්බර් 17 වැනිදා නුවරඑළිය රෝහලේ, අක්ෂි වෛද්‍ය සායනයෙන් නිකුත් කළ නික්ෂේපණයක් විෂ වෙලා එතැනින් ප‍්‍රතිකාර ගත්ත 55 දෙනකුගෙන් 23 දෙනකුගේ තාවකාලික අන්ධභාවයක් ඇති වී තිබෙනවා. මේ ඖෂධය පිළිකා රෝගවලටත් තබා දෙන එකක්. නමුත් පිළිකා රෝග සම්බන්ධ වෛද්‍ය විද්‍යාලයෙන්, තත්ව පරික්ෂණවලින් මේක නුසුදුසු බවට සනාථ වෙලා ප‍්‍රතික්ෂේප කරලා තියෙද්දි තමයි මේ බාල ඖෂධය ගෙන්වා තිබෙන්නෙ. ඒ නිසා මේ ප‍්‍රශ්නයට රෝගින් ගොදුරු වුණාට පස්සෙ ඒ ඖෂධය නවත්වන්න තීරණය කළා. මේ ඖෂධය ඇමතිවරයාගේ පුද්ගලික මැදිහත්වීමෙන් ගෙන්වපු එකක් බව අනාවරණය වෙලා තියෙනවා.
මේ විදියට රෝගින් අවදානමට ලක් කරමින් මෙවැනි බාල ඖෂධ ගෙන්වන්නේ ඇයිද යන ප‍්‍රශ්නය අපි සළකා බැලිය යුතුයි. මේක විශාල වෙළද ජාවාරමක ප‍්‍රතිඵලයක්. ඇමතිවරයා තමන්ගෙ ප‍්‍රතිරූපය ගොඩ නගන්න විශාල ප‍්‍රචාරයක් ගෙන යනවා, ඇමතිවරයා සුවපති කියලා ලොකු ප‍්‍රචාරයකුත් දුන්නා. නමුත් ඇමතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව රාජ්‍ය සෞඛ්‍ය සේවයේ විශ්වාසය, ජනතාව අතර තිබුණු ප‍්‍රසාදය බිඳ දමමින් තිබෙනවා. හිතා මතාව රාජ්‍ය රෝහල්වල ඖෂධ හා ප‍්‍රතිකාර සම්බන්ධ සැකයක් උපදවනවා. මේ ඔවුන් ගෙන යන්නෙ එක ගනේ කුරුල්ලො දෙන්නෙක් දඩයම් කරන ක‍්‍රමයක්. එක පැත්තකින් ප‍්‍රතිකාරවල විශ්වසනීයත්වය අහිමි කරනවා, අනෙක් පැත්තෙන් නිදහස් සෞඛ්‍ය කෙරෙහි ජනතාවගේ කලකිරීම පාවිච්චි කරලා සෞඛ්‍ය සේවාව පෞද්ගලිකකරණයට ජනතාවගේ අනුමැතිය ලබා ගන්නවා.
මේ නිසා අපි ඉතා පැහැදිලිව මේ රටේ ජනතාවට කියන්නෙ ඔය රෝහල් අසළ ප‍්‍රචාරක දැන්වීම්වල, විද්‍යුත් මාධ්‍ය ප‍්‍රචාරවලට ඇස් නිලංකාර කරගෙන ඉන්න එපා, සිදුවන ඇත්ත දේ මොකක්ද කියලා අවබෝධයෙන් ඉන්න. ඒ වගේම අපේ සහෝදර සෞඛ්‍ය සේවකයන් කාර්යමන්ඩලවලින් ඉල්ලා සිටින්නේ මේ වගේ කරුණු ජනතාවගෙන් වසං කරගෙන, රාජකාරි සීමාවලට යටකරලා ඉන්න බෑ. මේවා ජනතාවගෙ ජිවිත සම්බන්ධ ප‍්‍රශ්න. ඒ නිසා මේ ඇත්ත වසං කරන්න ඉඩ නොදී හැකි හැම විටම ජනතාවට හෙළිදරව් කරන්න කියලා සෞඛ්‍ය වෛද්‍ය අංශවලින් අපි ඉල්ලා සිටිනවා. මේ වෙද්දි ජනතාවගේ සෞඛ්‍ය සේවය පහළට දාලා තියෙද්දි ඇමතිවරයා විසින් සෞඛ්‍ය සේවකයන් හිරිහැරයට අවමානයට ලක් කර තිබෙනවා. ඒ නිසාවත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට වගකීමක් තිබෙනවා රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෙන්නෙ මොනවද කියලා රටේ ජනතාවට කියන්න.
මේ වනවිට සෞඛ්‍ය ඇමතිවරයා කියන්නෙ සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙනයනවා කියලා. නමුත් අපි දන්නවා මහාචාර්ය සේනක බිබිලේ ජනතා සෞඛ්‍ය සේවය වෙන්වෙන් අනර්ඝ ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාකාරි සැලැස්මක් යෝජනා කළා. ඒ ප‍්‍රතිපත්ති රාමුව ඇත්තටම ක‍්‍රියාත්මක කිරීම වෙනුවට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, ඒ ලේබලයට මුවා වෙලා විශාල ප‍්‍රචාරයක් ගෙන යමින් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය අවසන් කරන්න කටයුතු කරමින් ඉන්නවා. අද සෞඛ්‍ය ඇමතිවරයා මේ රටේ ජනතාව නිදහස් සෞඛ්‍ය සේවයෙන් ඈත් කරන මේ කරමින් ඉන්න ක‍්‍රියාදාමයට අපි දැඩි ලෙස විරුද්ධයි.
නිදහස් සෞඛ්‍ය සේවයක් උදෙසා ජනතා ව්‍යාපාරය විදියට මේ තත්වය සම්බන්ධ ජනතාව දැනුවත් කරමින් අවශ්‍ය උද්ඝෝෂණ ඉදිරියට ගෙන යන්න කටයුතු කරමින් ඉන්නවා. අපි ජනතාවට ආයාචනා කර සිටිනවා අද දවසේ ඔබේ දරුවා මේ බාල ඖෂධ නිසා පීඩා විඳනවා වෙන්න පුලූවන්, සමහර රෝගින් මිය ගියා වෙන්න පුලූවන්, නමුත් රජයේ සෞඛ්‍ය සේවයේ මෙම සිදුවෙන වෙනස්කම් හරියට හඳුනාගෙන ඒකට විරෝධය පළ කරන්න සැබෑ ජනතා සෞඛ්‍ය සේවයක් සඳහා ක‍්‍රියාකාරි වෙන්න කියන ආයාචනය අපි කරනවා. මුලූ රටක ජනතාවගේ සෞඛ්‍ය සේවය විනාශ කරන ක‍්‍රියාවලිය පැහැදිලි කරගෙන එයට එරෙහිව පෙළ ගැසෙන ලෙසත් නිදහස් සෞඛ්‍ය අයිතින් ජයගැනීම වෙනුවෙන් පුලූල් වැඩපිළිවෙළකට එක්වන ලෙසත් අපි ආරාධනා කරනවා.“