தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
සූවස් ඇලේ සිරවීම නිසා වන්දි ගෙවන තුරු Ever Given නැව ඊජිප්තු අත්අඩංගුවේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සූවස් ඇලේ සිරවීම නිසා වන්දි ගෙවන තුරු Ever Given නැව ඊජිප්තු අත්අඩංගුවේ!



MV Ever Given නැව සූවස් ඇලේ සිරවීමෙන් සිදුවු හානියට වන්දි ගෙවන තුරු නැව රඳවා තබාගැනීමට ඊජිප්තු බලධාරින් කටයුතු කර ඇත.

සූවස් ඇලේ නාවුක ගමනාගමනයට දින 6ක් තිස්සේ ඇති කළ බාධාව හා සූවස් ඇල සම්බන්ධ කීර්තිනාමයට සිදුකළ හානිය හේතුවෙන් ඩොලර් මිලියන 916ක වන්දියක් ඉල්ලා සිටීම නිසා නැව නිදහස් කරගැනීමට නොහැකිව තිබේ. සූවස් ඇලට සිදුවූ හානිය හා කීර්ති නාමයට ඇති වූ හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 300ක්ද ඉල්ලා ඇත. ඊජිප්තුවේ ‘සූවස් ඇල අධිකාරිය’ ඉල්ලා සිටි මෙම වන්දි මුදලට සිරවූ නැව මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ කාර්ය මණ්ඩලය 800ක් දෙනාට ගෙවිය යුතු ඩොලර් මිලියන 300ක් අඩංගු බව දක්වා ඇත. මෙම වන්දි මුදලින් මුදා ගැනීමේ මෙහෙයුමට අදාළ මුදල නැවේ භාණ්ඩ රක්ෂනය කළ රක්ෂණ සමාගම් විසින් ගෙවනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වුවද ඩොලර් මිලියන 916ක වන්දි මුදලක් මේ වෙනුවෙන් ඉල්ලා සිටින්නේ කුමන පදනමකින්දැයි ප්‍රශන කරනු ලැබ තිබේ.

මාර්තු 23 වැනිදා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දහවල් 12.00ට පමණ ඊජිප්තුවේ සූවස් ඇළ වෙත ප්‍රවේශ වූ මීටර් 400ක් පමණ දිග මේ නැව කෙටි වෙලාවකින් වැලි තලාවක සිරවීමෙන් සූවස් ඇලේ නාවික ගමනාගමනය දින ගණනාවට ඇනහිටියේය. කාර්යබහුල නාවික මාර්ගයක් ලෙස කිලෝ මීටර් 193ක් දිගු මෙම ඇල මාර්ගයේ ඇති වූ සිදුවීමෙන් එහි ගමන් ගැනීමට අපේක්ෂා කළ නැව් 300කට පමණ ප්‍රමාදයක් සිදු විය. මහත් පරිශ්‍රමයකින් පසුව මෙම නැව කපිතාන්වරයාට මෙහෙයවිය හැකි ආකාරයට නිදහස් කරගන් ලැබුවේ මැයි 29 වැනිදාය. ඒ හඳහා ටොන් 10,000ක් පමණ වැලි ඉවත් කිරීමට බැකෝ යන්ත්‍ර මෙන්ම වැලි කැනීම් යාත්‍රා යොදාගන්නට ඊජිප්තු බලධාරින්ට සිදු විය.

මේ වන විට ඇතිව තිබෙන අධිකරණ ක්‍රියාමාර්ගයේදී නැවේ නියමුවා විසින් පාලනය කළ නොහැකි වේගයකින් නැව මෙහෙයවූ බවට චෝදනා නගා ඇත. එහෙත් නැවේ හිමිකරු වෙන්වෙන් නීතිඥයන් තර්ක කරන්නේ සූවස් ඇල තුළ නැව් ගමනාගමනය පාලනය කරන්නේ සූවස් ඇලේ නාවික කටයුතු පාලන ආයතනය විසින් බවය. මෙවැනි විශාල නැවක් මෙහෙයවීමේදී ඔවුන් විසින්ද වගකීම භාරගත යුතු බව කරුණු දක්වා ඇත.

ඊජිප්තු අධිකරණයේ මේ සම්බන්ධ නීතිමය ගැටලුව විභාග කෙරෙන අතර වන්දිය සම්බන්ධ කඹඇදීම් අවසන් වන තුරු සූවස් ඇලේ නැව සිරවූ ස්ථානයට ආසන්නයේ පිහිටි ‘මහා තිත්ත ජලාශය’ නමැති ස්ථානයේ නැව රඳවා ගැනීමට ඊජිප්තු බලධාරින් කටයුතුකර තිබේ.

මෙම හේතුව නිසා මෙම නැවේ ප්‍රවාහනය කරමින් තිබෙන Lenovo, Ikea, Dixons Carphone වැනි වෙළඳ භාණ්ඩවලට අමතරව නිවාඩු ගතකිරීමට අවශ්‍ය උපකරණ, තණකොළ කපන යන්ත්‍ර මෙන්ම පිහිනුම් ඇඳුම් ආදිය තොග වශයෙන් වෙළඳපොළට ළඟාවීමේ ප්‍රමාදයක් සිදුව ඇත. මෙම තත්වය නිසා එකී වෙළඳ සමාගම් විසින් ඊජිප්තු බලදාරින්ට විරුද්ධ නඩු මගට බැසීමට තීරණයකර ඇත.

කෙසේවෙතත් වන්දි මුදල අඩුකරමින් ඩොලර් මිලියන 550කට එකඟ විය හැකි බව අවසානයේ ඊජිප්තු බලධාරින් විසින් නැව් හිමිකරුට දන්වා ඇත.

කන්ටේනර් 18,300ක ටොන් 200,000 වෙළඳ භාණ්ඩ සහිත මෙම නැව පැනමාවේ ලියාපදිංචි කර තිබෙන නමුත් මෙහි හිමිකරු ජපන් ව්‍යාපාරික ෂොයි කිසෙන් කයිෂා නමැත්තෙකි.

MV Ever Given නැවේ කාර්ය මණ්ඩලය (Guardian UK)
MV Ever Given නැවට අදාළ සිදුවීම දැක්වෙන සිතියමක් (Guardian UK)