தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
"ස'Fail" විපක්ෂ ප්‍රචාරක ව්‍යාපෘතියට ජනාධිපති පිළිතුරු දෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“ස’Fail” විපක්ෂ ප්‍රචාරක ව්‍යාපෘතියට ජනාධිපති පිළිතුරු දෙයි!



ජනාධිපතිවරයා අසාර්ථක බවට විපක්ෂය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන ගිය ස’Fail ප්‍රචාරක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පිළිතුරු දී ඇත.

අද(18) විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කළ විශේෂ ප්‍රකාශයේදී ජනාධිපතිවරයා පැවසුවේ විපක්ෂයේ සමාජ මාධ්‍ය ප්‍රචාරවලින් තමන් අසාර්ථක බව ප්‍රකාශ කළද අගෝස්තු 5 මහමැතිවරණයේදී ලැබූ ලක්ෂ 68 ක ඡන්ද ප්‍රමාණයෙන් ම තමන්ගේ සාර්ථකභාවය ඔප්පුවන බවය. කෙසේවෙතත් ජනාධිපතිවරණයේ ලබාගත් 6,924,255 ඡන්ද ප්‍රමාණය 6,853,690 දක්වා අඩු වූ බව ජනාධිපතිවරයා කළ ප්‍රකාශයේදී අවධානයට ගෙන නොතිබිණි.

ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය අවසාන භාගයේ මෙසේ පවසන ලදී.
“මා බලයට පත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේයි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුනේ ඉන් මාස 9 කට පසු මේ වසරේ අගෝස්තු මාසයේයි. මේ කාලය තුල මා ක්‍රියාකල ආකාරය ඉතා ඉහළින්ම ජනතාව අනුමත කල නිසා තමයි ඔවුන් අපට පාර්ලිමේන්තු මැතිවරණයේදි 2/3 ක බලයක් ලබා දුන්නේ.
මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවෙයි.”

පසුගිය දිනවල විපක්ෂය විසින් “ස’Fail” නමින් ප්‍රචාරක ව්‍යාපෘතියක් සංවිධානය කරන ලද අතර එහිදී ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් කෙරුණු සමාලෝචනාත්මක අදහස් පළ විය. 2019 නොවැම්බර් ජනාධිපතිවරණ සමයේ පොදුජන පෙරමුණ විසින් ප්‍රකාශ කරන ලද සියල්ල මවාපෑම් පමණක් බවද ඇත්ත වශයෙන් රාජ්‍ය පාලනයේ වසරක් තුළ ඔහු අසාර්ථක බවටද කරුණු දක්වමින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරක රැල්ලක් බිහි විය.
ජනාධිපති ධුරයේ වසරකට පසුව ජනතාව අමතමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයේදී “ස’Fail” ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් පිළිතුරු දීමට සිදුවීමෙන්ම එම ප්‍රචාරය ජනාධිපතිවරයාට බලපා ඇති ආකාරය පැහැදිලි වේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයා මෙවැනි ප්‍රචාරක කටයුතුවලට පිළිතුරු බැඳීමට වඩා කළ යුතු දේ බොහෝ ඇති බව විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කරන ඇතැමුන්ගේ ප්‍රතිචාරය වී ඇත. තමන් විසින් රාජ්‍ය නායකත්වයේ වසරක ඇවෑමෙන් සිදු කළ ධනාත්මක කරුණු හා ඍණාත්මක කරුණු සමාලෝචනය කරමින් ඉදිරි පාලන කාලයේ සාර්ථකත්වයක් ඇතිකර ගැනීමට දැරීම බව ජනාධිපතිවරයාට පක්ෂපාතීව අදහස් දක්වන පිරිසද කරුණු දක්ව ඇත.