தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
හඬ පටවලින් අධිකරණයට කළ බලපෑම් එළිවෙනවා - මහින්ද රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හඬ පටවලින් අධිකරණයට කළ බලපෑම් එළිවෙනවා – මහින්ද රාජපක්ෂ



වර්තමානයේදී ආන්දෝලනයට හේතු වුණු හඬ පට නිකුත් වීම නිසා පසුගිය රජයේ දේශපාලඥයින් අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කළේද යන්න පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

ඊයේ (09) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති පුවත්පත් කතුවරුන්ගේ හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“මේ තත්වය අනුව අධිකරණ තීන්දු පිළිගන්නෙ කොහොමද කියල අද වෙනකොට ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා. මේ අධිකරණයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රතිඵල බරපතලයි. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අපට තිබෙනවා. අධිකරණයේ විශ්වාසය නැති වීමත් එක්ක රට තුළ අරාජික තත්ත්වයක් ඇති වෙලා.

දැන් අධිකරණයේ හැම තීන්දුවක් දෙසම සැකයෙන් බලන තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තිබෙනවා. ඒ කාලේ අපේ අයට සමහර නඩු දාලා තියෙන්නේ වාහන භාවිතා කිරීම වගේම වාහන භාවිතා කරන්න අවසර දීම වගේ දේවල් වලට.

මගේ අමාත්‍යංශ වල මුදල් ගනුදෙනු පිළිබඳව මේ දවස්වල සොයාගෙන යනවා. කෝටි ගණන් වියදම් කරලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම තහවුරු වීමක් සිදුවෙලා නැහැ. සංස්කෘතික අරමුදල සම්පූර්ණයෙන්ම විනාශ කරල දාලා.”

මෙහිදී පුවත්පත් කර්තෘවරුන් අසනු ලැබූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය සමයේ අධිකරණයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ ඇතැමුන් සම්බන්ධ වූ බවයි. මෙම තත්ත්වය වළක්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චකාර වරයාට පැහැදිලි වගකීමක් තිබෙන බවත් ඔහු පැවැසීය.

ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් කරුණු අනාවරණ කර ගැනීම සඳහා කොමිසමක් පත් කළ යුතු බවද අගමැතිවරයා පවසා තිබේ.