தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
හදිසි නීති රෙගුලාසි 2කට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හදිසි නීති රෙගුලාසි 2කට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්



අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වීමෙන් පසු පසුව ජාතික ආරක්ෂාව සඳහා බව පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව ප්‍රකාශයට පත්කරන ලද හදිසි නීතියේ රෙගුලාසි 2ට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් ගොනු කරන තිබේ. ඒ යටතේ ජනාධිපතිවරයා පැනවූ හදිසි නීති 19(01) සහ 58 යන රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඉන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමේ අවධානමක් ඇති බවත් මෙම පෙත්සම් හරහා පෙන්වා දී ඇත.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවණමුත්තු විසිනි.

ජනාධිපතිවරයා පැනවූ හදිසි නීතියේ 19(1) වගන්තියට අනුව පුද්ගලයෙකු වරදක් කර නොතිබුණහොත් ඔහුගෙන් රටේ ආරක්ෂාවට, සාමය හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධාවක් ඇති වනු ඇතැයි පෙනී ගියහොත් ඔහු අත්අඩංගුවට ගෙන මුලින්ම දින 30ක් රඳවාගෙන සිට ඊට පසුව ආරක්ෂක ලේකම්ගේ නියෝග මත වසරක කාල සීමාවක් දිගටම රඳවා තබා ගැනීමට 19වැනි වගන්තිය යටතේ බලය පැවරී ඇත.

එසේ රඳවාගෙන සිටීමට ගත් තීරණය විමර්ශනයක් කිරීමට සාධාරණද නැද්ද යන්න සොයා බැලීමට අධිකරණයට බලයක් නැති අතර එවැනි පුද්ගලයෙකුට ඇපයක් පිට නිදහස් කිරීමට අධිකරණයට ඇති අයිතිය හා බලයද එම රෙගුලාසි මගින් ඉවත් කර ඇත.

මෙම රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10,12(1) 12(2) 12(3) 14(1) සිට එච් දක්වා වගන්තිවලට පටහැනි වන අතර අධිකරණ බලතලවලට අනිසි ලෙස ඇඟිලි ගැසීමකි.

අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙකු මිය ගිය විට ඔහුගේ අවසන් කටයුතු එනම් භූමදානය හෝ ආදාහනය උසස් පොලිස් නිලධාරීයෙකුගේ කැමැත්ත අනුව මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව සිදුකිරීමට ජනාධිපති පැනවූ 58(1) සහ (2) හදිසි නීති රෙගුලාසියෙන් ආරක්ෂක අංශවලට බලය පවරා ඇති බව පෙත්සම්වල සඳහන් වේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා නම් කර ඇත.