Posted on 09.28.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ(27) මියගිය ඇතින්නියන් සිව්දෙනකු හමුවීමෙන් පසුව අද (28දා) දහවල් වනවිට හබරන හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිත තිබී තවත් මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු සොයාගත් බව වනජීවී නිලධාරීහු පවසති.
අද අලුයම එක ඇතින්නියකගේ මළ සිරුරක් සොයා ගත් අවස්ථාවේදී ඒ ආසන්නයේ වයස අවුරුදු 4 පමණ පැටවකු රැඳී සිට ඇත.
මේ අන්දමට ඇතින්නියන්ගේ සිරුරු ගණන වැඩිවීම නිසා තවදුරටත් මළසිරුරු ඇත්දැයි සොයන්නට සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් හා යුද හමුදාව හබරණ පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබේ.
අද පෙරවරුවේ සිදුකළ මෙම මෙහෙයුමේ දී යුද හමුදා නිළධාරීන් කණ්ඩායමට සහ ප්රදේශවාසීන් කණ්ඩායමකට රක්ෂිතය තුල තිබී තවත් ඇතින්නියන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු විය.
මේ ආකාරයට මියගොස් සිටියදී හමුවූ මළසිරුරු හතම ගැහැණු සතුන්ගේ වීමත් ඔවුන්ද ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් වීමත් කිසියම් සැකයක් උපදවන බව වනජීවී නිලධාරීහු පවසති .
පසුගිය කාලයේ කුඩා පැටවුන් සිටින ඇතින්නියන් අල්ලා හෝ මරා දමා එම පැටවුන් අත්පත් කරගැනීමේ අලි දඩයම් ව්යායපාරයක් ක්රියාත්මක විය. ඇතැම් ප්රභූවරු සහ විනිසුරුවරු වෙත ඇත් පැටවුන් හිමිව තිබුණේ එවැනි අලි පැටවුන් ජාවාරම්කාරයන්ගෙනි.
කෙසේ වෙතත් හබරණ කැලයේ ඇතින්නියන් මිය යෑම පිළිබඳව නිශ්චිත නිගමනයන්ට එළඹීමට තරම් සාධක අධ්යයනයකර නොමැති බැවින් බවත් තවදුරටත් ඒ පිළිබඳව පරික්ෂා කරන බව වනජීවී නිලධාරීහු පවසති.