தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
හමුදාපති ශවේන්ද්‍ර, කාදිනල් හිමි හමුවීමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හමුදාපති ශවේන්ද්‍ර, කාදිනල් හිමි හමුවීමක්!



යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඊයේ(10) කොළඹ බිෂොප් නිල නිවසේදී කොළම අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමි හමු විය.

හමුදාපතිවරයා අගෝස්තු මසදී පත්කිරීමත් සමග ඔහුට එරෙහිව ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධ සාකච්ඡාව යලිත් කරලියට පැමිණියේය. ලංකාවේ යුද අපරාධ සම්බන්ධ 2009 වසරේ සිට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ වෙනත් ආයතනවල චෝදනා ඉදිරිපත් කෙරුණද ඒවා පිළිබද සොයා බලා යුක්තිය ඉටු කිරීමට එවකට ජනාධිපති මහින්ද රජපක්ෂ හෝ වත්මන් ආණ්ඩුව කටයුතු කර නැත.

ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ශවේන්ද්‍ර සිල්වා අගෝස්තු 19 දින පත් කෙරුණේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක විශ්‍රාම යාමත් සමගය. ශවේන්ද්‍ර සිල්වාගේ පත් කිරීම සම්බන්ධයෙන් සිය “දැඩි අවධානය” යොමු වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු විදේශ රටවල් ගනනාවක් නිවේදනය කර තිබිණි.
“එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල සහ විශ්වසනීය වේ,” යනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන් විය. එසේම එක්සත් ජාතින්ගේ සංවිධාන නියෝජිතයන්ද මේ සම්බන්ධ ආණ්ඩුවට අදහස් දක්වා තිබිණි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් විදේශීයයන්ට අවශ්‍ය ලෙස රට පාලනය කිරීම ගැන විවේචනය කළ අතර යුද අපරාධ චෝදනා සම්බන්ධ කිසිවක් පවසා නැත. ශවේන්ද සිල්වා හමුදාපතිවරයා හමුවීමෙන් කාඩිනල්වරයා විසින් දේශපාලන සංඥාවක් නිකුත්කළ බවට දේශපාලන අංශවල කාතබහට ලක් වී තිබේ. කාඩිනල්වරයා අප්‍රේල් 21 ප්‍රහාරය දක්වාම ප්‍රසිද්ධියේ දේශපාලන කරුණු පිළිබද අදහස් පළ කර නැති බවද එහිදී අවධානයට ලක් වේ.

හිටපු හමුදාපතිවරයා සැප්තැම්බර් 2 වැනිදා කාඩිනල් හිමි මුණ ගැසුණු අතර අගෝස්තු 19 වැනිදා පත් කරනු ලැබූ නව හමුදාපතිවරයා කාඩිනල් හමුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසද යන්නද කුතුහලයට ලක්ව ඇති කරුණකි.