தமிழ்
English
Contact
Friday 14th May 2021    
ජර්මන් තානාපතිගෙන් දිලුම් අමුණුගමට දේශපාලන පාඩමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජර්මන් තානාපතිගෙන් දිලුම් අමුණුගමට දේශපාලන පාඩමක්!



(TopNews) ඇඩොල්ෆ් හිට්ලර්, දේශපාලන නායකයකුට කිසිදු ආදර්ශයක් නොවන බව මෙරට ජර්මන් තානාපති හොල්ගර් සීබර්ට් පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජන්දය දුන් 69 ලක්ෂය බලාපොරොත්තු වෙන්නේ හිට්ලර් ඇතිකළ අන්දමේ පාලනයක් ගෙන යාම බව අප්‍රේල් 12 වැනිදා මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම පවසා ඇත.

මේ සම්බන්ධ මාධ්‍ය හා වෙනත් ආකාරයෙන් දැනගන්නට ලැබුණු කරුණු මත ජර්මන් තානාපතිවරයා සිය රටේ හිට්ලර් විසින් ඇති කළ පාලනය මෙන්ම ලෝකයට කළ බලපෑම සම්බන්ධව ‘ටිව්ටර්’ මගින් සිය අදහස් පළ කර ඇත. සිතිය නොහැකි තරම් බිහිසුණු මානව ඛේදවාචකයක් ඇති කළ හිට්ලර්ගේ පාලනය සම්බන්ධ මතකයට ගන්නා ලෙස ජර්මනා තානාපතිවරයා සිය සටහනෙන් ආයාචනා කර ඇත. මිලියන ගණන් ජනයා සංහාරය කළ පුද්ගලයකු කිසිදාක ආදර්ශයක් ලෙස ගත යුතු නැති බව ඔහු අවධාරණයකර තිබිණි. හිට්ලර් ආදර්ශය ලංකාවට ප්‍රයෝජනවත් බවට ඇසෙන අදහස් සම්බන්ධයෙන් මේ කරුණ අවධාරනය කරන බවද ඔහු ඒ ට්විටර් පණිවිඩයේ දක්වා ඇත.

ජනාධිපති අපේක්ෂක සමයේ ගෝඨාභය රාජපක්ෂ අමතමින් වෙඬරුවේ උපාලි හිමි කළ ප්‍රකාශයක්ද හිට්ලර් පාලනයක් සම්බන්ධ කරමින් නායකත්ව කාර්ය පිළිබඳ උපදෙස් ලබා දී තිබුණි. පසුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම හිමිනම ප්‍රකාශ කළේ තමන් පළකළ අදහස මාධ්‍ය විසින් වෙනස්කර ඇති බවය.

කෙසේවෙතත් මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම විසින් ඒ අදහස යළි සිහිපත්කර දී තිබිණි. ඔහු කළ ප්‍රකාශයේ මෙසේ සඳහන්ව තිබිණි.

“ආණ්ඩුවට ජනතාව චෝදනා කරනවා නම් කරන්නේ ජනතාව බලාපොරොත්තු වුණා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වුණාම යම් මටටමක ඒකාධිපති පාලනයක් ගෙන යයි කියල. ගරුතර මහා සංඝරත්නය කිව්වා ඒ කාලේ හිට්ලර් කෙනෙක් වුණත් කමක් නැහැ එහෙම වුණොත් හොඳයි කියල. නමුත් මේ හිට්ලර් කෙනෙක් නොවීම තමයි මේ දෝෂාරෝපණ වලට හේතුවෙලා තියෙන්නේ. ඒක මම වුණත් පිළිගන්නවා. මොකද එතුමාට ජන්දය දීපු 69 බලාපොරොත්තු වෙනවා එතුමා යම් විදිහක හිටලර් කෙනෙක් විදිහට ක්‍රියාත්මක විය යුතුයි කියල. එහෙම නොවුණහම එතුමාට දොස් කියනවා. එතුමාගේ කැමැත්තක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ එක සැරේ හිට්ලර් කෙනෙක් වෙන්න. සමහරක් අංශ ක්‍රියාත්මක වෙන විදිහ අනුව එතුමා හිට්ලර් කෙනෙක් දක්වා තල්ලු කෙරුවොත් එතුමා හිට්ලර් කෙනෙක් වෙයි. එතකොට කවුරුත් දොස් කියන්නේ නැති වෙයි. කටයුතු හොඳින් ක්‍රියාත්මක වෙයි.”

රටතුළ කාලයක් තිස්සේ වර්ධනය වූ ආර්ථික අර්බුදය වසංගත සමයේ තවදුරටත් පිළියම් යෙදීමේ සීමාව ඉක්මවා යමින් තිබේ. මේ සම්බන්ධ කරුණු වසන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම වත්මන් ආණ්ඩුව ජනතාවට විවිධ ව්‍යාජ සංවර්ධන පියවරයන් නිරූපණය කිරීමේ යෙදී සිටින අතර සත්‍ය තත්වය විසින් නිරන්තරව ජනයාගේ ජීවන තත්වය ඇද දමන්නේ දැඩි වියවුල්කාරී අර්බුදයකටය. මෙම දීර්ඝකාලීන අර්බුදය අත්තනෝමතික පාලකයකුට හෝ දැඩි නීති මගින් පියවා ගත හැකි බවටද ජාතිකවාදී සමාජ-ආර්ථික වැඩපිළිවෙළකින් ජයග්‍රහණය කළ හැකි බවටද ප්‍රකාශ කරමින් ආණ්ඩුව ජනතාව ඇන්දවීමෙන් සිය බලය යළි යළිත් තහවුරුකකර ගැනීමේ යෙදී සිටී.

මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ නායකයකු වශයෙන් මෙන්ම පාලකයකු වශයෙන් අසාර්ථක වෙමින් පවතින බවට විපක්ෂ ප්‍රචාරයන් වර්ධනයවන අතර ආණ්ඩුවේ අැතැමුන් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමට මෙන්ම ඒ හරහා ලකුණු දමා ගැනීමට විවිධ බංකොලොත් ප්‍රකාශ නිකුත් කරමින් සිටී.

ජර්මන් තානාපති හොල්ගර් සිබර්ට්ගේ ‘ට්විටර්’ පණිවිඩය