தமிழ்
English
Contact
Friday 16th April 2021    
ෆාහියන් ලෙනෙන් හමුවූ 'කළු මැණිකා'ගේ ඇටසැකිල්ල ජර්මනියෙන් ලංකාවට නැවත බාර දෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ෆාහියන් ලෙනෙන් හමුවූ ‘කළු මැණිකා’ගේ ඇටසැකිල්ල ජර්මනියෙන් ලංකාවට නැවත බාර දෙයි!



බුලත්සිංහල, ෆාහියන් ලෙනෙහි හමුවූ මානව ඇටසැකිල්ලේ විද්‍යාත්මක පරික්ෂණ අවසන් කරමින් එම ඇටසැකිලි කොටස් නැවත ලංකාවට භාරදීම පසුගියදා සිදු විය.

ජර්මනියේ ලංකා තානාපතිනි මනෝරි උනම්බුවේ වෙත ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයෙන් මෙම අස්ථි කොටස් භාර දෙන ලදී. ජර්මනියේ ජේනා නගරයේ පිහිටි මානව ඉතිහාස විද්‍යාව පිළිබඳ මැක්ස් ප්ලාන්ක් විද්‍යායතනයට මෙම ඇටසැකිලි කොටස් හා මෙවලම් භාර දෙනු ලැබුවේ ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසිනි. එම විද්‍යායතනයේ ලාංකික විද්‍යාඥ ආචාර්ය ඔෂාන් වෙදගේ ඇතුලු විද්‍යාඥයන් විසින් මේ සම්බන්ධ පර්යේෂණයක් සිදුකර තොරතුරු වාර්තාගතකර තිබේ. ඒ අනුව, ‘කළුමැණිකා’ අවුරුදු 18-22 අතර තරුණියක් බව අනාවරණය වී ඇත. උසින් අඩි 5 අඟල් 3ක් පමණ වූ ඇය කිලෝග්‍රෑම් 54ක් බර වූ බවද අනාවරණය වී ඇත. එසේම ඇය සමග හමුවූ දුන්න සහ ඊතලය අවුරුදු 48,000ක් පමණ පැරණි බව පරික්ෂණවලින් අනාවරණය වී ඇත. මේ නිසා එම මානව උපකරණ අප්‍රිකානු භූමියෙන් පිටතදී හමු වූ පැරණිතම මානව මෙවලම් බව වාර්තා විය.

මෙම විද්‍යාත්මක පර්යේෂණයට දායක වූ විද්වතුන් ලෙස මයිකල් සී. ලැංග්ලි, නොයෙල් අමනෝ, ඔෂාන් වෙදගේ, සිරාන් දැරණියගල, එම්.එම් පද්මලාල්, නිමල් පෙරේරා, නිකොලෙ බොයිවින්, මයිකල් පෙට්‍රග්ලියා, පැට්‍රික් රොබට්ස් නම්කර ඇත.