தமிழ்
English
Contact
Monday 30th April 2018    
කේපාපුලව් ජනයාගේ ඉඩම් යළි ලබා දෙනු – සම අයිතිය ව්‍යාපාරය « Lanka Views | Views of the truth

කේපාපුලව් ජනයාගේ ඉඩම් යළි ලබා දෙනු – සම අයිතිය ව්‍යාපාරය



හමුදා භාරයට ලබා ගෙන ඇති මුලතිවු, කේපාපුලව් ප්‍රදේශයේ සිය ඉඩම් නැවත ලබා දෙන ලෙස රජයට බලකරමින් ප්‍රදේශවාසීන් සහ සම අයිතිය ව්‍යාපාරය ආරම්භ කරන ලද සත්‍යග්‍රහය අවහිර කරමින් මාර්ග වසා දැමීම දැඩි ලෙස හෙළා දකින බව සම අයිතිය ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

අද(11) දින කේපාපුලව් ගමේ කුඩා කෝවිල ඉදිරිපිටදී මෙසේ සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර පොලිසිය හා සිවිල් ඇදුමින් ආරක්ෂක අංශ සාමාජිකයන් පැමිණ ඊට සම්බන්ධවූ ජනයාට හා සම අයිතිය ක්‍රියාකාරින්ට පිටවීමට නොහැකිවන සේ බාධා කරමින් මාර්ගයද වසා දමා ඇත. එම බලහත්කාරී සිදුවීම හෙලා දකිමින් සහ එම ඉඩම් නැවත එම ජනතාවට ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් සම අයිතිය ව්‍යාපාරයේ කැදවුම්කරු විසින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය මෙසේය.


මුලතිව්, කේපාපුලව් ජනතාවගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දෙනු!

තමන්ගේ ඉඩම් නැවත තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් මුලතිව්, කේපාපුලව් ජනතාව තමන් එහි වාසය කරන කාලයේ වැදුම් පිදුම් කළ කුඩා කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළ පසුව ඔවුන්ට පිටවීමට නොහැකි වන ලෙස මාර්ගය වසා දැමීමට ආණ්ඩුවේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. මෙම ක්‍රියාව දැඩිව හෙළා දකින සමඅයිතිය ව්‍යාපාරය ඔවුන්ගේ ඉඩම් නැවත ඔවුන්ට ලබා දෙන ලෙස රජයට බල කර සිටියි.

මුලතිව්, කේපාපුලව් ගම්මානයේ ජනතාවට ගම්බිම් අතහැර යාමට සිදු වූයේ යුද්ධයේ අවසාන කාලයේදී ඔවුන්ගේ නිවෙස් මතට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වන්නට පටන් ගත් පසුවයි. එලෙස ගම්බිම් අතහැර ගිය ඔවුහු වසර කිහිපයක් තිස්සේ අවතැන් කඳවුරුවල ජීවත් වූහ. උතුරේ ජනතාවට යළි ඉඩම් ලබා දීමට වැඩසටහන් දියත් වූ අවස්ථාවලදී ඇතැමුන්ට එලෙස ඉඩම් ලැබුණත් කේපාපුලව් ගම්මානයේ ජනතාවට තමන්ගේ ඉඩකඩම් ලැබුණේ නැත. ඒ, එම ඉඩම්වල හමුදා කඳවුරක් ඉදි කර තිබීම නිසාය. මුලතිව්-පුදුකුඩිඉරිප්පු මාර්ගයද වසා දමා ඔවුන්ට තමන්ගේ ඉඩකඩම් වෙත පිවිසීමද අවහිර කර තිබිණි. ඔවුන්ගේ මුල් ඉඩම් නැවත ලබා නොදී ඒ වෙනුවට එම ගම ආසන්නයේම පර්චස් 10 බැගින් කුඩා බිම් කැබලි ඔවුන්ට ලබාදීමට රජය පියවර ගෙන තිබිණි.

පර්චස් 10 බැගින් කුඩා ඉඩම් කැබැල්ලක් ලබා දීමෙන් එම ජනතාව මුහුණ දී සිටින ගැටලූවලට විසඳුම් ලැඛෙන්නේ නැත. පවුල් 132ක් පමණ වන ඔවුන්ගේ ආර්ථීක සමාජ ජීවිතය කේන්ද්‍ර ගත වී තිබුණේ, පාසලක්, කෝවිල් දෙකක්, පල්ලියක්, ප්‍රජා ශාලාවක්, ක්‍රීඩාංගයක් හා සමුපකාරය ඇතුළු කේපාපුලව් ගම්මානය පදනම් කර ගෙනය. ඔවුන්ගේ කෘෂිකර්මික කටයුතු සහ ධීවර කටයුතුද සෙසු ආර්ථීක කටයුතුද ඒ හා බැඳී වී තිබිණි.

ඔවුන්ගේ ඉඩම් අල්ලාගෙන ඉදි කරන ලද හමුදා කඳවුර ඉදිරිපිට දින 103ක් තිස්සේ සත්‍යග්‍රහයක් පවත්වමින් ඔවුන් ඉල්ලා සිටියේ තමන්ගේ මුල් ගම් බිම් තමන්ට නැවත ලබා දෙන ලෙසයි. එය සාධාරණ සහ යුක්තිසහගත ඉල්ලීමක් වන අතර එම ඉල්ලීම ඉටු කිරීම බලධාරීන්ගේ වගකීමකි. එහෙත් බලධාරීන් ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

මේ අතර අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පුදුකුඩුඉරිප්පු-මුලතිව් මාර්ගය විවෘත කර වත්තප්පලයි අම්මාන් කෝවිලට යාමට ඉඩ සලසා දී තිබේ. තමන්ගේ ඉල්ලීම ඉදිරිපත් කිරීමට එය අවස්ථාවක් කර ගත් කේපාපුලව් ජනතාව කේපාපුලව් ගමේ කෝවිල් පරිශ්‍රයේ සිය සත්‍යග්‍රහය ආරම්භ කළහ. මෙම සත්‍යග්‍රහයට මාධ්‍යවල හා ජනතාවගේ අවධානය ලැබීමත් සමගම බලධාරීන් විසින් මාර්ගය වසා දමා එම ජනතාවට එම ස්ථානයෙන්ද පිටවීමට නොහැකි වන ලෙස අවහිර කර තිබේ. බලධාරීන්ගේ උත්සාහය වී තිඛෙන්නේ බිය වද්දා ඔවුන් කෝවිල් පරිශ්‍රයෙන් එලවා දැමීම මිස ඔවුන්ගේ සාධාරණ සහ යුක්තිසහගත ඉල්ලීම ඉටු කිරීම නොවේ.

මුලතිව්, කේපාපුලව් ජනතාවගේ සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීම ඉටු කරන ලෙස බලධාරීන්ට බල කොට කියා සිටින අපි මෙම සාධාරණ ඉල්ලීම වෙනුවෙන් සහාය දක්වන ලෙස සියලූ ප්‍රගතිශීලි ජනතා බලවේගවලින්ද ඉල්ලා සිටිමු.

 

රවීන්ද්‍ර මුදලිගේ
කැඳවුම්කරු-සමඅයිතිය ව්‍යාපාරය
2017.06.11