தமிழ்
English
Contact
Friday 1st July 2022    
21 වැනි සංශෝධනය කෙටුම්පත, ආණ්ඩුවේ අර්බුදය විසඳාගන්නට කල් මැරීමේ උපක්‍රමයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

21 වැනි සංශෝධනය කෙටුම්පත, ආණ්ඩුවේ අර්බුදය විසඳාගන්නට කල් මැරීමේ උපක්‍රමයක්!



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය පිළිබඳ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 21වන සංශෝධනයක් සිදුකිරීමට අදාළ කමිටුව ඊයේ (23)පස්වරුවේ රැස්වී කළ සාකච්ඡාවෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් කැබිනට් මණ්ඩලයේ දී කෙටුම්පත සාකච්ඡා කොට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ට එය ලබාදී සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයට නැවත වාර්තා කරන ලෙස දැනුම් දුන් බවද අගමැතිවරයා සඳහන් කළේය.

එම තීරණය අනුව, විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසිඑක් වෙනි සංශෝධනයේ පිටපත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට ලබා දෙනු ඇති බවත් ලබන සිකුරාදා රැස්වී ඔවුන්ගේ අදහස් ලබා ගන්නට අප බලාපොරොත්තු වෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත්, මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීමේ ක්‍රමය මෙන්ම ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ මතුව ඇති අර්බුදකාරි තත්වයට ඉක්මන් විසඳුම් ගෙන එනු වෙනුවට කල් මැරීමේ උපක්‍රමයක් බවට විවේචන මතුව තිබේ. එපමණක් නොව, අපේක්ෂිත පරිදි 19 වැනි සංශෝධනයට ඔබ්බෙන් විධායක ජනාධිපති විසින් 20 වැනි සංශෝධනය හරහා සංකේන්ද්‍රණය කරගත් බලය නැවත පාර්ලිමේන්තුවට ලබාගැනීමේ විධිවිධාන නව කෙටුම්පතට ලබාදී නොමැති බවට චෝදනා එල්ල වී ඇත. මෙම පනත් කෙටුම්පත සම්බන්ධ මෙතෙක් හෙළිව ඇති කරුණු අනුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අසීමිත බලයක් හිමිකරගත් කරුණු වෙනස් නොකර නව ව්‍යවස්ථා සංශෝදනයක් සිදු කිරීමේ පලක් නැති බවට විපක්ෂ කණ්ඩායම් කරුණු දක්වා ඇත.

කෙසේවුවද, අගමැතිවරයා පවසන්නේ පක්ෂ නායකයන් කෙටුම්පත කියවීමෙන් පසුව ඔවුන්ගේ අදහස් හා විරෝධතා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සංශෝධන සමගම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන බවයි. කෙටුම්පතක් ලෙස ගැසට් නිවේදනය පළ කොට ඊට පසුව වුවමනා අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ද අවස්ථාව දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සියලු දෙනාගේම සහාය ඇතිව සංශෝධනය සම්මත කරගන්නා බව ද අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.