தமிழ்
English
Contact
Friday 14th August 2020    
ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ කොන්දේසි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ කොන්දේසි

එළඹෙමින් තිබෙන මහමැතිවරණයට සමගාමී දේශපාලන චලනයන් සම්බන්ධව සුමිත් චාමින්ද විසින් සටහන් කළ ලිපියකි.

(උපුටාගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය බරපතල අනතුරකට ලක් වෙමින් පවතීය යන බිය දැන් ලිබරල් නිදහස අගයන කණ්ඩායම් අතර පැතිර යමින් පවතී. එය ඉතාම සහේතුක බියකි. එම සහේතුකත්වය වඩාත් හොඳින් පැහැදිලි කර ගන්නට නම් අප ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයට අදාළ නීතිමය සහ ආයතනික රාමුවට සීමා නොවී “සැබෑ දේශපාලනය” ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුය. මේ ලිපියෙන් ප්‍රයත්න දැරෙන්නේ ලාංකීය සැබෑ දේශපාලනයේ ගතිකයන් ඇසුරින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ ඇති අභියෝග, අනතුරු හා අවස්ථා හඳුනා ගැනීමේ කිසියම් කටු සටහනක් සැකසීමය.   

සාමාන්‍යයෙන් ලිබරල් ව්‍යවස්ථාවාදීන් වැඩි වශයෙන් උනන්දු වන්නේ දේශපාලනයේ නෛතික සහ ආයතනික පැතිමානය පිළිබඳවය. ඔවුන්ගේ දැක්මට අනුව පාලකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන උල්ලංඝණය කරමින් ක්‍රියා කිරීම ඉතාම අනතුරුදායක තත්ත්වයකි. මන්ද යත්, මූලික නීතිය නොතකා කටයුතු කරන්නට පටන් ගන්නා පාලනයක් ඉතාම ඉක්මනින් අත්තනෝමතිකත්වය කරා ගමන් කිරීම අපේක්ෂා කළ යුතුය. (ඉතිහාසය සාක්ෂි දරන පරිදි මෙය සත්‍යයකි). එහෙයින් ලිබරල් ව්‍යවස්ථාවාදීන්ගේ මූලික අවධානය යොමු වන්නේ රාජ්‍යයේ නෛතික සහ ආයතනික පර්යාය හරියාකාරව පවත්වාගෙන යාම කෙරෙහිය. 

ලිබරල් ව්‍යවස්ථාවාදීන්ගේ දෘෂ්ටියෙන් පසුගිය කාලයේදී මෙරට නෛතික සහ ආයතනික පර්යාය බිඳ වැටීම ගැන ආන්දෝලනාත්මක අදහස් කීපයක් මතු විය. පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ දිනයක් නියම කිරීමෙන් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීම ගැන ඇති වූ නීතිමය තර්කය ඉන් එකකි. ජනාධිපතිවරයා හට විධිමත් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව පොදු මුදල් භාවිත කිරීමට හැක්කේ කොතරම් දුරකටද යන ප්‍රශ්නය මුල් කොටගෙන තවත් විවාදයක් මතු විය. කොරෝනා වෛරස් වසංගතය හමුවේ පණවන ලද ඇඳිරි නීතියේ නීත්‍යානුකූලභාවය ගැනද එවැනිම ප්‍රශ්න මතු කෙරිණ. නවතම විරෝධය එල්ල වී ඇත්තේ හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් වෙත වගවීමට රාජ්‍ය නිලධාරීන්ට නියම කරනු ලැබීම මුල් කොටගෙනය. නමුත්, ඉහත කී කිසිදු නෛතික තර්කයක් හෝ විරෝධයක් පොදු ජන සමාජයේ දේශපාලන හැසිරීම් කෙරෙහි එතරම් බලපෑමක් කිරීමට සමත්ව ඇති බවක් නොපෙනේ. ඉහත කී ගැටළුකාරී තීරණ  සියල්ලම පාලනාධිකාරයේ සිතැඟි පරිදි මනාව ක්‍රියාත්මක වෙමින් පවතින්නේ කිසිදු බරපතල සමාජ විරෝධයකින්ද තොරවය. 

සැබෑ දේශපාලනයේ හැසිරීම්

ඉහත තත්ත්වය අප වටහා ගන්නේ කෙසේද? ඒ සඳහා අප හැරී බැලිය යුත්තේ සැබෑ දේශපාලනයේ චලනයන් දෙසය. 19 වන සියවසේ විසූ ජර්මානු චින්තකයෙකු වූ ලුද්විග් වොන් රොෂුවා “Realpolitik” යන යෙදුමෙන් හැඳින්වූයේ දේශපාලන පරමාදර්ශ සහ සදාචාර-නෛතික රාමුවලට පිටතින් සැබවින්ම දේශපාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නයි. “භෞතික ලෝකය පාලනය වන්නේ ගුරුත්වාකර්ෂණය මගින් වන්නේ යම් සේද, එලෙසින්ම රාජ්‍යය පාලනය වන්නේ බලය මගින්” යැයි ඔහු පැවසීය. දේශපාලනයේ මෙම දේශපාලනික මානය විශ්ලේෂණය කර ගැනීම සඳහා අපට ව්‍යවස්ථා විශාරදයින්ගෙන් එතරම් සහායක් නොලැබේ. මන්ද යත්, එය දේශපාලන විද්‍යාවට අයත් විෂය ක්ෂේත්‍රයක් බැවිනි.

ශන්තාල් මූෆ් විසින් ලියන ලද කෘතීන් කිහිපයකදීම ඇය අවධාරණය කොට ඇත්තේ දේශපාලන න්‍යාය දේශපාලනයෙන් තොර වූවක් නොවිය යුතුය යන්නයි. ඇයගේ අදහස වන්නේ සැබෑ දේශපාලනයේ අංග ලක්ෂණ වන බලය, පසමිතුරුතාව, අරගලය සහ උපාය උපක්‍රම යනාදිය නොසලකා හරින දේශපාලන න්‍යායක් යනු හුදෙක් සදාචාර න්‍යායක් මිස “දේශපාලනික දේශපාලන න්‍යායක්” විය නොහැකිය යන්නයි. තවදුරටත් ග්‍රාම්ස්චිව අනුයමින් ඇය පවසන්නේ දක්ෂිණාංශික පාලකයින් තම ව්‍යවහාරය තුළින් දන්නා මේ දේශපාලනික පැතිමාන ගැන වාමාංශිකයින්ද අවධානය යොමු කළ යුතු බවයි. නැතහොත්, සිදු වනු ඇත්තේ 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව බොහෝ යුරෝපීය රටවල සිදු වූවාක් සේ දේශපාලනික ක්ෂේත්‍රය තම අණසකට යටත් කර ගන්නට දක්ෂිණාංශික ජනප්‍රියවාදී බලවේග සමත් වීමයි. 

ප්‍රජාතන්ත්‍රවාදයේ වියහැකියාව   

ඉහත කී සැබෑ දේශපාලනයේ අරුතින් අප ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටළුව දෙස බලන්නෙමු නම්, අපට ඒ පිළිබඳ ඉතාම අඳුරු වුවත් යථාර්ථවාදී චිත්‍රයක් ලැබෙනු ඇත. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම විය හැකියාවක් වනුයේ කවර නම් කොන්දේසි යටතේද? මේ ප්‍රශ්නයට අදාළව මෑතකදී දයාන් ජයතිලක වැදගත් නිරීක්ෂණයක් සිදු කොට තිබිණ. එනම්, මෙරට සමාජ නිදහස ආරක්ෂා විය හැකි තත්ත්වයන් සැකසෙන්නේ බොහෝ විට සිංහල බෞද්ධ ප්‍රජාව දේශපාලනිකව බෙදී සිටින විටදීය යන්නයි. විශේෂයෙන්ම ජනවාර්ගික පදනමකින් සිංහල බෞද්ධ ප්‍රජාව එක් දේශපාලන නායකත්වයක් වටා සංවිධානය වී සිටින තත්ත්වයක් තුළදී සමාජයේ ප්‍රජාතාන්ත්‍රික නිදහස අනතුරට ලක් වීමේ විශාල ඉඩකඩක් තිබේ. 2009 යුද්ධය අවසාන වීමත් සමග නිර්මාණය වූයේ එවන් තත්ත්වයකි. පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිපල මගින් හැඟවෙන තත්ත්වයද එබඳුය.

නමුත්, මේ සමගම අප අමතක නොකළ යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, සිංහල බෞද්ධ ප්‍රජාවේ බහුතරයක් එක්සත් ජාතික පක්ෂයේ පාලනයට එරෙහිව පෙළ ගැසෙන්නට බලපෑ එකම කාරණය ජනවාර්ගික (සහ ආගමික) ජාතිකවාදය පමණක් නොවන බවයි. එතරම්ම වැදගත් දේශපාලන-ආර්ථික සාධකයක්ද එයට හේතු භූත විය. එනම්, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය ගෝලීය නව-ලිබරල් සංස්ථාපිතයේ නියෝජිතයෙකු බවට පත්ව තිබීමයි. ඉන්දියාවේ රාහුල් ගාන්ධිගේ නායකත්වය යටතේ කොංග්‍රස් පක්ෂය ගමන් කළේද එම මාර්ගයේමය. රනිල් සේම රාහුල්ද ආර්ථිකමය ලෙස නව-ලිබරල් ප්‍රතිපත්ති අනුගමනය කරන අතර දේශපාලනිකව සුළුතර ජන කණ්ඩායම්වල සහයෝගය මත රඳා පවතින්නට ප්‍රයත්න දැරීය. නමුත්, දෙරටේම දක්ෂිණාංශික මහා ජාතික ජාතිකවාදය අති මහත් බහුතර ජන්දයකින් තම බලය තහවුරු කර ගත්තේය. නරේන්ද්‍ර මෝඩි හට “හින්දූ රාෂ්ට්‍රයක්” සඳහා ජන වරමක් හිමි වන විට ගෝඨාභය රාජපක්ෂ හට “විනයගරුක රටක් හැදීමට” සිංහල බෞද්ධ ජන වරමක් හිමි විය. මේ සංසිද්ධිය දේශපාලන දෘෂ්ටිවාදයන්ගේ හැඩ ගැසීම අනුව පමණක් තේරුම් කරන්නට පෙළඹෙන ලිබරල්වාදීන් හට මග හැරෙන්නේ මේ පිටුපස තිබෙන දේශපාලන-ආර්ථික සාධකයන්ගේ වැදගත්කමයි. 

නව-ලිබරල්වාදය සහ දක්ෂිණාංශික ජාතිකවාදය

පසුගිය දශකය තුළදී දක්ෂිණාංශික ජාතිකවාදයේ රැල්ලක් හමා ගියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තුළ පමණක් නොවේ. එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, හංගේරියාව ඇතුළු බොහෝ යුරෝපීය රටවලද, ඇමෙරිකා එක්සත් ජනපදය තුළද, තුර්කිය, බ්‍රසීලය සහ තවත් බොහෝ රටවලද එය හමා ගියේය. මේ එක් එක් රටවල ජාතිකමය සුවිශේෂතා අනුව එම දේශපාලන ප්‍රවාහයන්හි වෙනස්කම් නිර්මාණය වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත්, ඒවායෙහි කිසියම් පොදු ලක්ෂණද ඒ සමගම අපට හඳුනාගත හැකිය. එනම්, බොහෝ විට ආර්ථිකමය පීඩනයන් සහ බැහැර කිරීම් ඔස්සේ මහජනයා අතර වර්ධනය වූ විරෝධයන් සහ අසංතෘප්තීන් දේශපාලනිකව සංවිධානය කිරීමට දක්ෂිණාංශික ජාතිකවාදී නායකත්වයන් සමත් වීමයි. මෙයින් පෙනී යන්නේ දක්ෂිණාංශික ජාතිකවාදයන්ගේ මෑතකාලීන නැගීමට බලපෑ කිසියම් ආර්ථිකමය සාධකයක් පවතින බවයි. ඒ අන් කිසිවක් නොව සියලු සමාජ ගැටළුවලට විසඳුම නිදහස් වෙළඳපල යැයි ආධානග්‍රාහීව අදහන නව-ලිබරල්වාදයයි. විශේෂයෙන්ම මෙම නව-ලිබරල් ප්‍රතිපත්තීන්වල ව්‍යසනකාරී ප්‍රතිපල 2008 මූල්‍ය අර්බුදයත් සමග පුපුරා යන ස්වභාවයකින් බොහෝ සමාජයන්වලට දැනෙන්නට පටන් ගත්තේය. මෙහි ප්‍රතිපලයක් ලෙසින් වැඩෙන්නට වූ සමාජ විරෝධය සහ අසංතෘප්තිය සංවිධානය කරන්නට සමත් වූයේ දක්ෂිණාංශික ජාතිකවාදී ව්‍යාපෘතීන්ය. 

ඒ මන්ද? සරලව කිවහොත්, සාම්ප්‍රදායික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සහ වාමාංශික පක්ෂ මෙම සමාජ විරෝධය සංවිධානය කිරීමට අසමත් වීම නිසාය. ඔවුන් එසේ අසමත් වූයේ අන් කිසිදු හේතුවක් නිසා නොව ඔවුන්ද එම නව-ලිබරල් දැක්ම හා අනුගත වී සිටීම නිසාය. ශන්තාල් මූෆ් යුරෝපයට අදාළව මේ අනතුර පෙර දකින්නට සමත් වූවාය. ඇය 2005 දී ප්‍රකාශයට පත් කළ “On the Political” කෘතියේදී පෙන්වා දුන්නේ යුරෝපයේ වාමාංශික පක්ෂ ඊනියා මධ්‍ය-වාමාංශික නොහොත් “තුන්වන මාවත” ප්‍රතිපත්ති කරා හැරීමෙන් නව-ලිබරල්වාදය සමග අනුගත වූ බවයි. (ගෝලීය ධනවාදයේ පරිවාරයේ පිහිටි ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් 1994 සිට මේ සම්මුතික දේශපාලන හැරීම සිදු විය).”වම-දකුණ අතර බෙදීම මැකී යාම”, “පසමිතුරු දේශපාලනයේ අවසානය”, “පශ්චාත්-දෘෂ්ටිවාදී යුගයකට පිවිසීම” යනාදී මිත්‍යාමතික අදහස් ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ එම වාතාවරණය තුළය. (පසුකාලීනව විශ්‍රාමික මාගරට් තැචර්ගෙන් ඇය ලැබූ විශාලතම දේශපාලන ජයග්‍රහණය කුමක්දැයි විමසූ විට ඇය මෙසේ පැවසුවාය: “ටෝනි බ්ලෙයාර් සහ නව-කම්කරු පක්ෂය!”).

මූෆ් කළ අනාවැකිය වූයේ “නව-ලිබරල්වාදයට විකල්පයක් නොමැතිය” යන අදහස මත පදනම් වූ මෙම සම්මුතික දේශපාලනයේ ප්‍රතිපලයක් ලෙස හිස් වන විපාක්ෂික දේශපාලන අවකාශය අන්ත-දක්ෂිණාංශික බලවේග විසින් අත්පත් කර ගනු ඇති බවයි. ඒ නව-ලිබරල් විරෝධී උදෘතයන් සමග සුළු ජනවර්ග විරෝධී සහ සංක්‍රමණ විරෝධී නව-ගතානුගතික දෘෂ්ටිවාදයන් සුසම්බන්ධ කිරීම මගිනි. පසුව මූෆ් හට ග්‍රීක මිථ්‍යා කතාවක එන චරිතයක් සේ ඇය පැවසූ දෙය සැබෑ වන අයුරු දුක්මුසු හැඟුමින් බලා සිටින්නට සිදු විය.

සැබෑ දේශපාලනයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට 

දිගු කතාවක් කෙටි කර කිව හොත්, දක්ෂිණාංශික ජාතිකවාදයේ නැගීමට අවශ්‍ය තත්ත්වයන් සකසන ලද්දේ නව-ලිබරල් සංස්ථාපිතය විසින්මය. ඒ අරුතින් මේ එකම කාසියේ දෙපැත්තය. ප්‍රංශයේ අන්ත-දක්ෂිණාංශික මරීන් ලපෙන්ට එරෙහිව එමානුවෙල් මැක්රෝන් හට සහාය දැක්වීමට එරට වාම-ලිබරල් කොටස්වලට සිදු විය. ඒ සම්බන්ධයෙන් පසුකාලීනව යානීස් වරූෆකීස් ප්‍රකාශ කළේ ඔවුන් සහාය දැක්වූයේ ලපෙන් නමැති පලය බිහි කරන්නා වූ හේතුවට බවයි. 

මේ අරුතින්, ශ්‍රී ලංකාවේ වත්මන් දක්ෂිණාංශික ජාතිකවාදී පාලනාධිකාරය නිර්මාණය වීමට හිතකර තත්ත්වයන් සකසන ලද්දේ 2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය විසින්මය. එම ව්‍යාපෘතිය ජනතාවගේ ආර්ථිකමය විරෝධයන් සහ දුක්ඛ දෝමනස්සයන් දේශපාලනීකරණය කිරීම වෙනුවට ඒවා හුදෙක් කළමණාකරණය කිරීමට ප්‍රයත්න දැරීය. “For a Left Populism” (2019) කෘතියේ ශන්තාල් මූෆ් පවසන පරිදි මෙම නව-ලිබරල් සංස්ථාපිතය විසින් පෙරට ගෙන යනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ලිබරල්වාදයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංග වන ජනතා නියෝජනය සහ සමානාත්මතාව එම ව්‍යාපෘතිය තුළ යටපත් වී යයි. දක්ෂිණාංශික ජාතිකවාදය විසින් දෘෂ්ටිවාදී නියෝජනයක් ලබා දෙනු ලබන්නේ එම යටපත් කරනු ලැබූ ප්‍රජාතාන්ත්‍රික අභිලාෂයන්ටය. 

නමුත්, වාමාංශය මේ අභියෝගය න්‍යායිකව වටහාගෙන තිබේද? දේශපාලනිකව එයට මුහුණදීමට අවශ්‍ය උපායික දැක්මක් ගොඩ නගාගෙන තිබේද? අවාසනාවන්ත ලෙස මේ ප්‍රශ්නවලට පිළිතුර “නැත” යන්නයි. 2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය සමග අනුගත වූ ජනතා විමුක්ති පෙරමුණ පවා තවමත් පෙරට ගෙන යමින් සිටින්නේ ඉතාම දුර්වල යහපාලන සටන් පාඨ පෙළකි. “හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට යැවීම” නොහොත් “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” යන දුර්වල සටන් පාඨයෙන් පවා ගම්‍ය වන්නේ එයයි. (එයට එක් හේතුවක් විය හැක්කේ තමන් “ජනවාරි විප්ලවයට” සහාය දීමෙන් රැවටීමට ලක් වූවා යැයි කළකිරීමට පත් වූ බුද්ධිමය ශ්‍රේණියක් සමග ජවිපෙට ඇති සම්බන්ධය විය හැකිය). නමුත්, මේ වෙනුවට ජනතාව පෙළන ආර්ථික පීඩනයන් සහ දැන් වේගයෙන් අනතුරට ලක් වෙමින් පවතින ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පිළිබඳ ගැටළුවලට ආමන්ත්‍රණය කරන ප්‍රජාතාන්ත්‍රික ප්‍රගතිශීලී විපාක්ෂික බලවේගයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවක් (සහ හැකියාවක්) දැන් නිර්මාණය වී තිබේ. ඒ සඳහා “හොඳ මිනිසුන්” තේරීමේ යහපාලන දෘෂ්ටියේ සීමාව ඉක්මවා බොහෝ දුර යා යුතුව ඇත. 
මධ්‍ය-දක්ෂිණාංශයේ පැත්තෙන් බැලූ විටද තත්ත්වය එබඳුය. සජිත් ප්‍රේමදාස නිතර කීමට පුරුදුව සිටින “ගෝඨාභය ජනාධිපතිවරයා සමග එකට වැඩ කළ හැකි අගමැතිවරයා වන්නේ තමා”ය වැනි දුර්වල උදෘතයන්ගෙන් ජනයා ආකර්ෂණය කරගත හැකි යැයි සිතීම විශාල මිථ්‍යාවකි. පසුගිය ජනාධිපතිවරණය සමයේ මා ලියූ පරිදි “තරඟකාරී ජාතිකවාදයකින්” රාජපක්ෂ හෙජමොනිය පරාජය කිරීමට සිතීමම හිතළුවකි. ඒ වෙනුවට ඉදිරියේදී විවෘත වන්නේ ප්‍රජාතාන්ත්‍රික නිදහස සහ ආර්ථික පීඩනයන්ට විසඳුම් ඉල්ලන විපාක්ෂික දේශපාලන අවකාශයකි. දැනට එතරම් ජන බලයක් නැතත් මේ අනාගත දේශපාලන වියහැකියාවන් ගැන තියුණු දැනුවත්භාවයකින් යුතුව දේශපාලන කලාවේ නිරත වෙමින් සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය බව මගේ හැඟීමයි. 

මේ විශ්ලේෂණයට එකතු කළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම්, ඉදිරි කාලයේදී සිංහල සමාජයේ සැලකිය යුතු සහයෝගයක් දිනා ගන්නා ප්‍රජාතාන්ත්‍රික විපාක්ෂික බලවේගයකට සාර්ථක විය හැක්කේ එය සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ සහායද දිනා ගන්නට සමත් වන්නේ නම් පමණක් බවයි. මෙය පැහැදිලි කිරීමේදී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ බාහිර කොන්දේසියක් වන ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාව දෙස අවධානය යොමු කළ යුතුය. එය ඉදිරි ලිපියකදී පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙමි.