Posted on 01.18.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරුවන් දිවයිනේ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගැනීමේ විශේෂිත කඩඉම් ලකුණු සම්බන්ධව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන අපරාධ පරික්ෂණයක් ඉල්ලා සිටී.
5 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ ගැටලු දහසක් ඇතත්, ආණ්ඩුවක් විසින් ප්‍රතිපත්තිමය තීන්දු ගතයුතු වුවද හිටපු අධ්‍යාපන ඇමතිවරයකුගේ මේ පැමිණිල්ල අද්භූත තත්වයකි. වෙළඳ ඇමතිවරයා ලෙස සිය ඇමතිධූරයට අදාළ කටයුතු වෙනුවට අධ්‍යාපන ඇමතිවරයාගේ ක්ෂේත්රයේ ජනප්‍රිය ප්‍රශ්න ඉස්මතු කිරීමද රංජන් රාමනායක ආදර්ශයට ගැනීමක් ලෙස සැළකිය හැකිය.
පසුගියදා නිවේදනය කෙරුණු ආකාරයට එක් එක් පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා දක්වා ඇති කඩඉම් ලකුණු තීරණය කිරීමේ කිසිදු විනිවිදභාවයක් නොමැති බව වෙළඳ ඇමතිවරයා පෙන්වා දෙයි. තමන් මේ සම්බන්ධයෙන් පසුගිය වසරේදීද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත් මේ වසරේදීත් එම ලකුණු එක් පාර්ශ්වවල වුවමනාවන්ට අනුව සකස් වී ඇති බව ඔහු චෝදනා කරයි.
හිටපු අධ්‍යාපන ඇමතිවරයකුද වන බන්ධුල ගුණවර්ධන තවදුරටත් පවසන්නේ දීර්ඝ කාලයක පටන් 5 ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් ලකුණු මට්ටම් තීරණය කරන්නේ කුමන නිර්ණායක පදනම් කරගෙනද, කුමන සූත්‍රයකට අනුවද, කවර ආකාරයකටද කියන එක ගැන කිසිදු පැහැදිලි කිරීමක් නොමැති බවයි. පහුගිය වසරේ කළ ආකාරයට මෙවරත් තමන් විසින් 5 ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු තීරණය කිරීමේ අවුල් සහගත තත්වය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව ඔහු කියා සිටී.
ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් වෙළඳ ඇමතිවරයා මේ කරුණු ප්‍රකාශ කරද්දී අධ්‍යාපන ඇමතිවරයාට ඒ සම්බන්ධ ඇති වගකීම පිළිබඳ කිසිවක් නොපැවසීමද විශේෂත්වයකි. ඔහු විසින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මේ ගැන පැමිණිලි කරන්නට අදහස්කරන බව කීවද අධ්‍යාපන ඇමතිවරයා සමග ප්රශ්නය නිරාකරණය කරගන්නට හැකි යයි අදහසක් පළ වූයේද නැත.
එපමණක් නොව, බන්දුල ගුණවර්ධන 2010 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව විවිධ පාර්ශ්ව විසින් මතුකළ ගැටලු විසඳීමට අසමත් විය. තමන් බලයේ සිටියදී පවතින ජනතා ගැටලුවලට විධිමත් හා කල්පවතින විසඳුම් ගෙන එන්නට කටයුතු නොකරන මහජන නියෝජිතයන් විවිධ අවස්ථාවල දේශපාලන හා පෞද්ගලික ප්රතිරූප වෙනුවෙන් විවිධ ප්‍රකාශ නිකුත් කිරීම මෑත කාලයේ විශේෂ තත්වයකි.
පසුගියදා සිරගත කෙරුණු රංජන් රාමනායක ‘අධිකරණයේ දූෂිතභාවය’ සම්බන්ධ ප්‍රසිද්ධ හා ජනප්‍රිය ප්‍රකාශ සිදු කළද 2015-2020 පාලන කාලයේ ආණ්ඩුවේ ඇමතිවරයකුව සිටියදී ඒ තත්වය සම්බන්ධ කිසිදු විධිමත් පැමිණිල්ලක් හෝ යෝජනාවක් ඉදිරිපත් නොකිරීමද අවධානයට ලක් විය.