தமிழ்
English
Contact
Friday 16th November 2018    
අනුර කාලිංග - මරණය ‍දක්වා කැපකිරීම් කළ වාම ක්‍රියාකාරිකයෙක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අනුර කාලිංග – මරණය ‍දක්වා කැපකිරීම් කළ වාම ක්‍රියාකාරිකයෙක්!



අනුරාධපුරය, දෙවැනි පියවර පදිංචිව සිටි අනුර කාලිංග නම් වූ වාමාංශික ක්‍රියාකාරිකයා හදිසි රෝගී තත්වයකින් පසුව ඊයේ (8) වැනිදා අභාවයට පත් විය.

1958 අලුත්ගම ප්‍රදේශයේ ඉපිද දේශපාලන කටයුතු සදහා අනුරාධපුරයට පැමිණි ඔහු 60 වැනි වියේදී ජීවිතය කෙලවර කරන්නේ තවත් දෙමසකින් විශ්‍රාම යන්නට සිටි සංස්කෘතික ත්‍රිකෝණයේ සංරක්ෂන නිලධාරියකු වශයෙනි. අචල විශ්වාසයකින් හා කැපවීමකින් සාමුහික මිනිස් ජයග්‍රහණ උදෙසා වැඩ කළ ඔහු මිනිස් සමාජය වඩා යහපත් කිරීමට නම් සමාජවාදය අවශ්‍ය බව පිළිගත්තා ‌මෙන්ම ඒ වෙනුවෙන් ක්‍රියාකාරි වූ මිනිසකුද විය. ඔහු පුරාණ මිනිස් නිර්මාණයන් සංරක්ෂණය කර අනාගත සමාජයට භාරදීමට සිය වෘත්තිය වගකීම් ඉටු කළා මෙන්ම දේශපාලන වගකීමද අවශ්‍ය ආකාරයෙන් කලමනාකරණය කළේය. විශේෂයෙන් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයකු ලෙසද සංස්කෘතික ත්‍රි කෝණ සේවකයන් අතර මහත් ගෞරවයක් හා විශ්වාසයක් දිනාගත් අයකු විය.

වයස අවුරුදු 14දී ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ලෙස වාමාංශික දේශපාලනයෙ අතපොත් තබමින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ ඔහු නාගරික මන්ත්‍රිවරයකු ලෙස ඡන්දයෙන් තේරී පත්වුවද එම කාර්යයේදී පක්ෂයේ තේරීමට ඉඩදී ඉල්ලා අස්විය. අනුර කාලිංග 1987-89 සන්නද්ධ අරගලය සමයේ අත්අඩංගුවට පත්වූයේ විවාහයෙන් මාස තුනක් තරම් කෙටි කාලයකදීය. බූස්ස රැදවුම් කදවුරේ සිරගත ජීවිතයෙන් නිදහස්ව නැවත ජ.වි.පෙ. ගොඩනැගීමට කැපවී කටයුතු කළා මෙන්ම ඉන් අනතුරුව පක්ෂයේ වැරදි තීරණ සම්බන්ධයෙන් ඔහු දැඩි විවේචකයකුද විය. 2011 ජ.වි.පෙ. ඛණ්ඩනයෙන් පසු නව වාම ව්‍යාපාරයක් බිහිකිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වූ අනුරාධපුර ප්‍රදේශයේ වාම ක්‍රියාකාරින්ට මධ්‍යස්ථානයක් බවට පත්කරමින් සිය නිවසේ මෙන්ම ජීවිතයේ ප්‍රධාන කාර්ය සමාජ අරමුණු උදෙසා වැඩ කිරීම බව ඔහු ප්‍රයෝගික ලෙස සනාථ කළේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අනුරාධපුර ක්‍රියාකාරිකයන් අතර ආදර ගෞරවයට පාත්‍ර වූ හෙතෙම ජනතා විමුක්ති පෙරමුණේ පැරණි සගයන් අතරද නොවෙනස් සහෝදරත්වයක් දිනා සිටියෙකි.

ප්‍රකට නාට්‍යවේදී කපිල කුමාර කාලිංග මෙම වාමාංශික ක්‍රියාධරයාගේ ඥාති සොයුරකු වේ. මිය යන විට දෙදරු පියකු වූ ඔහුගේ අවසන් කටයුතු හෙට(9) සවස 3.30ට අනුරාධපුර ‘නිසල නිම්නය‘ සුසාන භූමියේදී සිදු කෙරේ.