Posted on 06.20.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
පසුගිය 18 වන දින අතුරුගිරිය ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පිරිසක් හා සේවකයන් අතර ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට ගිය පොලිස් සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් හය දෙනකු එම පිරිසකගේ පහරකෑමෙන් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු නව දෙනකුද අත්අඩංගුවට ගත් බවත් ඊයේ මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් මෙහිදී බොහෝ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙම සිදුවීම ජනතාවගේ පිට පටවමිනි. ප්‍රකෝපව කළහකාරීව හැසිරුණු ජනතාව විසින් පොලිසියට පහර දුන් බව මාධ්‍ය විසින් වාර්තා කළ ද එහි සැබෑ සිදුවීම පොළිසිය විසින් මෙම ගැටුම්කාරී තත්වය ඇති කිරීමක් බව මේ වන විට හෙළි වී ඇත.
අතුරුගිරිය නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට පෙට්‍රල් තොග ලැබී තිබූ අතර ඒවා ලබාගැනීම සඳහා පැය ගණනක් පාරිභෝගිකයන් පෝලිමේ රැඳී සිට තිබිණි. එහෙත් රාත්‍රි 09.00 පමණ වන විට ලැබී තිබූ ඉන්ධන තොග අවසන් වීමත් සමඟ පාරිභෝගිකයන් හා පිරවුම්හලෙහි සේවකයන් අතර බහින්බස් වීමක් ඇති වී පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබිණි.
කෙසේ වෙතත් ඒ වන විට පිරවුම්හලෙහි ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් විසින් තත්වය පාලනය කිරීමට බව පවසමින් එහි සිටි ජනතාවට දිගින් දිගටම පහර දී ඇත. මෙහිදී පෝළිමේ දිගු වේලාවක් රැඳී සිටි ජනතාවට බිම පෙරලාගෙන පහර දෙන ආකාරය සටහන් වීඩියෝවක් Lankaviews වෙත ලැබී ඇත. එව වීඩියෝවේ පොලිසිය විසින් ජනතාවට අමානුෂික ලෙස පහර දෙන ආකාරය පැහැදිළිව සටහන්ව ඇත.
කෙසේ වෙතත් සිදුවීම ජනතාව මත පටවා ඇති පොලිසිය සිය නිල බලය යොදවා ජනතාවට පරදී ඉන් නොනැවතී, ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා ඉදිරිපත් කර ඇත. අත්අඩංග්රවට ගත් පිරිස පසුගියදා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එහි සිටි සැකකාරියට ඇප නියම කොට සෙසු සැකකරුවන් අට දෙනා ලබන 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පෝළිම්වල පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සිය බලය අයුතු ලෙස භාවිත කරන අවස්ථාවන් දිගින් දිගටම වාර්තා වන අතර, මෙය රටේ අර්බුදකාරී අවස්ථාවක දැකිය නොහැකි තත්වයක් බව නීතිඥ සංගමය ද පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබිණි.