தமிழ்
English
Contact
Thursday 21st June 2018    
ඩී.එස්.අයි. කම්හලට එරෙහි සටන ජයගත් පරිසර සංවිධාන සාමාජිකයන් මර්දනය ඇරඹේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩී.එස්.අයි. කම්හලට එරෙහි සටන ජයගත් පරිසර සංවිධාන සාමාජිකයන් මර්දනය ඇරඹේ!



පාරිසරික හානි සිදුකරමින් පවත්වාගෙන යන බෝගහගොඩ ඩී.එස්.අයි. කර්මාන්ත ශාලාව මෙම වසර අවසානයේ වසා දැමීමට තීරණය කිරීමෙන් පසුව පරිසර සංවිධාන සාමාජිකයන් අත්අඩංගුවට ගෙන විවිධ චෝදනා කරමින් නඩු පැවරීමේ සැලැස්මක් හෙළි වී තිබේ.
මේ බව හෙළි වී ඇත්තේ ඊයේ(6) බෝහගොඩ ප්‍රෙද්ශයේ තරුණයෙක් පොලීසිය විසින් බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීමත් සමගය. ජේ.කේ.අසංක දිනේෂ් නමැති මෙම තරුණයා සිය ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටියදී පොලිසිය විසින් ඊයේ පෙරවරු 9.30ට පමණ පාර හරස් කර ඇත. ඉන්පසුව බෝගහගොඩ රබර් කම්හලේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් චෝදනා කර අත්අඩංගුවට ගැනීමට සූදානම් වී තිබේ. එහිදී විරෝධය පළ කළ විට ත්‍රිරෝද රථය නිවසට ගෙන ගොස් දමා හබරාදූව පොලිසියට පැමිනෙන ලෙස ඔහුට දන්වා ඇත. ඔහු පොලිසියට ගිය අවස්ථාවේදී පොලිස් පරික්ෂකවරයකු විසින් දිනේෂ්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ බෝගහගොඩ පරිසර සංවිධානයට සම්බන්ධද යන්නය. ඔහු එම පරිසර සංවිධානයේ සාමාජිකයකු නොවන බව පවසා ඇත. කෙසේවෙතත් පොලිස් පරික්ෂකවරයා පවසා ඇත්තේ බෝගහගොඩ පරිසර සංවිධානයේ සාමාජිකයන් සියලු දෙනා කුමන හෝ චෝදනා දක්වා අත්අඩංගුවට ගන්නට තමන්ට හැකි බවය. කම්හලේ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සේවකයකු මෙම ක්‍රියාදාමයට සාක්ෂිකරුවකු ලෙස යොදාගෙන ඇති බවටද සැක කෙරේ. පසුගිය කාලයේ මෙම පරිසර ගැටලුවට සම්බන්ධ විරෝධය යටපත් කරන්නට විවිධ ආයතනවල හා පොලිසියේ පුද්ගලයන්ට අල්ලස් ලබාදීමට ඩී.එස්.අයි. කම්හල් කලමනාකාරිත්වය කටයුතු කළ බවටද චෝදනා එල්ල විය.

වසර ගණනාවක් තිස්සේ බෝගහගොඩ ඩී.එස්.අයි. කම්හල විසින් සිදුකරන පාරිසරික හානිය සම්බන්ධයෙන් අරගල කර පසුගිය කාලයේ එහි නඩුවක් සමථයට පත් කරනු ලැබුවේ මෙම වසර අවසානයේ කම්හල වසා දමන බවට එකගතාවයකින් පසුවය. එහෙත් එම අරගලයට සම්බන්ධ පුද්ගලයන් මර්දනය කරමින් කම්හල පවත්වාගෙන යන්නට පොලිසිය හරහා කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට මේ අනුව තොරතුරු අනාවරණය වේ.