தமிழ்
English
Contact
Saturday 18th August 2018    
වෙඩි පහරින් මියගිය යාපනේ සිසුන් දෙදෙනා ගැන පොලිසිය අධිකරණයට බොරු කියලා ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෙඩි පහරින් මියගිය යාපනේ සිසුන් දෙදෙනා ගැන පොලිසිය අධිකරණයට බොරු කියලා !



පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් 2016 වසරේදී මිය ගිය යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා මත්පැන් පානය කර සිටි බවට පොලිසිය කළ කරුනු දැක්වීම සාවද්‍ය බව අද දින අධිකරණයේදී වාර්තා කෙරිණි.

එම සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවලින් අනාවරණ වන තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් මෙම කරුනු සනාථ කරන්නට සිසුන් වෙනුවෙන් ඉදිරිපත් වූ නිතිඥවරු සමත් වූහ.

එම මරණ පරික්ෂණ වාර්තා අනුව දැක්වෙන්නේ මිය ගිය එක් සිසුවෙකුගේ පපු ප්‍රදේශයට එල්ලවූ රයිෆල් උණ්ඩයක් හේතුවෙන්ද අනෙක් සිසුවාගේ පපුව අභ්‍යන්තරයේ සිදුවූ තුවාල හේතුවෙන්ද මරණ සිදුව ඇති බවයි. මෙම වෙඩිතැබීමෙන් මරණයට පත්වූයේ යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි නඩරාජා කජන් සහ විජය කුමාර් සුලක්ෂන්ය. 2016 ඔක්තෝබර් 21 වැනිදා අලුයම යාපනය – කන්කසන්තුරේ මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොකුවිල් ප්‍රදේශයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් ඔවුහු මරණයට පත්ජී වූහ. ඔවුන් ගමන් කළ යතුරුපැදිය අණනොතකා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබීම සිදුකළ බවද ඔවුන් මත්පැන් පාලනය කර සිටි බවද එවකට පොලිසිය ප්‍රකාශ කර තිබිණි.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ පොලිස් රියදුරුවරයෙක් ඇප මත මුදාහැරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය යූ.මයුරදන් මහතා විසින් මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරණ ලදී. පොලිසිය ඒ දිනවල පැවසුවේ සිසුන් එම අවස්ථාවේ බීමතින් සිටි බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණ වී ඇති බවයි. කෙසේ වෙතත් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන කරුනු අනාවරණය විමෙන් පොලිසිය ව්‍යාජ ලෙස කරුනු දක්වා අධිකරණය නොමග යවා ඇති බව සනාථ විය. එහි දැක්වෙන්නේ යතුරුපැදිය පැදවූ විජයකුමාර් සුලක්ෂන් සිසුවාගේ මරණය සිදුවන විට ඔහුගේ අමාශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 750 ක් පමණ තිබූ අතර මත්පැන් දක්නට නොලැබුණු බවයි. යතුරුපැදිය නොනවත්වා ධාවනය කළ අවස්ථාවේ වෙඩි තැබූ බව පොලිසිය ප්‍රකාශකළ ද යතුරුපැදිය පැදවූ විජයකුමාර් සුලක්ෂන්ගේ පපුවේ තනපුඩුව අසලින් උණ්ඩය ඇතුළු වී ඇති බවත් උණ්ඩය ඇතුළුවූ ස්ථානයේ සෙන්ටිමීටරයක පමණ වට ප්‍රමාණයකින් යුත් සිදුරක් තිබූ බවත් මරණ පිරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. ඔහුගේ ශරීරයේ විවිධ ස්ථානවල කැපුම් තුවාල 3ක්, සීරීම් තුවාල 14ක් සහ අස්ථි බිඳීම් 2ක්ද හඳුනාගෙන ඇති බව මීට අමතරව එහි දැක්වේ. යතුරුපැදියේ පසුපස ගමන් කළ නඩරාජා කජන් මරණයට පත්වන අවස්ථාවේ ඔහුගේ ආමාශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 600ක් පමණ තිබූ බවත් මත්පැන් පානය කළ බවට හඳුනාගත නොහැකි බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය. එහි දැක්වෙන්නේ ඔහුගේ සිරුරේ විවිධ ප්‍රමාණයේ කැපුම් තුවාල 7ක්ල සීරීම් තුවාල සහ අස්ථි බිඳුම් ද හඳුනාගත හැකි බවයි. ඒ අනුව මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ තියුණු නොවූ වැදීමකින් පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් නඩරාජා කජන්ගේ මරණය සිදුවී ඇති බවයි.