தமிழ்
English
Contact
Saturday 18th August 2018    
දැවෙන විහඟුන් කෘතියක්ද..? ව්‍යාපෘතියක්ද..? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දැවෙන විහඟුන් කෘතියක්ද..? ව්‍යාපෘතියක්ද..?



(සංජීව පුෂ්පකුමාර නම් වූ නව පරපුරේ සිනමාකරුවා විසින් නිමවන ලද දෙවැනි වෘතාන්ත චිත්‍රපටය, ‘දැවෙන විහගුන්‘ සිනමා ප්‍රේක්ෂාගාරයට පැමිණි පසුව විවිධ අදහස් උදහස් මුද්‍රිත මාධ්‍ය හා විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ විය. ‘දැවෙන විහගුන්‘ අරබයා මේ ලිපිය අපගේ ආරාධනයෙන් සංජීවගේම පරපුරේ විචාරකයකු අතින් ලියැවුණක් වන අතර ඔහු මෙය ආරූඪ නමකින් පළ කරන ලෙස ඉල්ලා සිටී. වෙනත් කිසිවකුට මේ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේ බාධාවක්ද නැත. – සංස්කාරක මණ්ඩලය)

තිරගත වීම ආරම්භ කල දා පටන් ‘දැවෙන විහගුන්‘ දැඩි ආන්දෝලනයකට ලක් විය. කෘතිය ඇසුරින් පැනෙන නිර්මාණාත්මක හෝ දෘෂ්ඨිවාදාත්මක තතු පමණක් නොව කෘතිය පිටුපසින් ප්‍රකටවම දක්නට ලැබුණු ව්‍යාපෘතියද මේ ආන්දෝලනාත්මක කතිකාවේ මූලික පදනම් විය. කොහොමටත් කෘතියක් නිමැවෙන පූර්ණ සන්දර්භය නොතකා කරනු ලබන විචාරයක් සාධාරණ විචාරයක් නොවනවාක් මෙන්ම සර්ව සම්පූර්ණද නොවන්නේය. කෘතියත්, එය නිමැවුණු සන්දර්භයත් විමසිල්ලට ලක් කිරීම මේ ලියැවිල්ලේ අරමුණයි.

‘දැවෙන විහගුන්‘ කෘතියේ නිර්මාපකයා වන සංජීව පුෂ්පකුමාර අප හදුනන්නේ අද ඊයෙක සිට නොවේ. කොළඹ කේන්ද්‍ර කරගත් සංස්කෘතික අවකාශයන්හිදී නිරන්තර හමු වී ඇති බැවින් සංජීව පිළිබද ඉතා සමීප සජීවී අත්දැකීම් ද මේ ලියුම්කරු සතුව පවතී. ඒ අත්දැකීම් පරාසය තුළ සංජීවට අදාලව මේ ලියුම්කරු සතු ව වැදගත් නිරීක්ෂණයන් දෙකක් වේ. එකක් නම්,තමන් විසින් තෝරා ගන්නා ලද සිනමාකරුවකු වීමේ ජීවන ආරම්මණය කෙරෙහි ඔහු තුළ වන කොන්දේසි විරහිත කැප කිරීමය.අප්‍රතිහත කැපකිරීමක් මතු නොව එය එක්තරා ආකාරයක අසාමාන්‍ය අධිෂ්ඨානයකි. ලියුම්කරු ඔහු තුළ නිරීක්ෂණය කරන ලද අනෙක් කාරණය නම් ලාංකේය සමාජය පිළිබදව ඔහු තුල වූ නිරනුකම්පීය විවේචනයයි. සමස්තයක් විදියටමත්, තනි තනි පුද්ගලයන් ඉලක්ක කර ගනිමිනුත් ඔහු ගෙනෙන ලද මේ විවේචනයේ ප්‍රධාන සාරය වූයේ රටක් විදියට අප ඉතාමත් අසංස්කෘතික බවත්, ගෝත්‍රික බවත්ය. සිනමා කෘතීන්ට අදාලව පසුගිය සමයේ නිබදව සිදු කෙරුණු යුරෝපීය සංචාරයන්ගෙන් ඉක්බිති සංජීවගේ මේ විවේචනය වඩාත් කර්කෂ වූ අතර ඔහුගේ ළගම මිත්‍රයන්ට පවා පීඩාවකින් තොරව ඔහුව ආශ්‍රය කිරීම අසීරු විය.

සංජීව පිළිබද මෙකී පුද්ගලික තතු සිනමා විචාරයකට අදාල වන්නේ කෙසේදැයි කුකුසක් කෙනෙකු තුළ රෝපණය වීම සාධාරණ වුනත් මෙකී තතු මග හැර ඇති වී තිබෙන ආන්දෝලනාත්මක කතිකාවට ප්‍රවේශ වීම නිවැරදි නොවේ. එමතු නොව, ඔහු ගේ පුද්ගලික තතු පිළිබද අපගේ දැනීම මේ කතිකාවට කිසියම් ආලෝකයක් එල්ල කරන බවද,මේ කතිකාවේ අවුල් සහගත තැන් ලිහා ගැනීමට විද්‍යාවක් සපයන බවද පැහැදිලිය.

කෘතියෙන් පිටස්තරව දක්නට ලැබුණු කාරණා ප්‍රමාණයක් අපට මෙසේ පෙළ ගැස්විය හැකිය.

* සිනමාපටයේ මංගල දර්ශනය නැරඹීම පිණිස මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණීම

* සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය යුවළ සමග සංජීවට සංජීවට පැවති කුප්‍රකට සම්බන්ධය එදින හොදින් ප්‍රකට වීම.

* පූර්ව ප්‍රචාරක පෝස්ටර් සදහා ‘අම්මා බලන්නට එන්න‘ යැයි පාඨයක් යොදා ගනිමින්,මෙය ළමා චිත්‍රපටයකැයි යන්න අනියමින් ප්‍රේක්ෂක මනසට කා වැද්දීමට තැත් කිරීම.

* ජාත්‍යන්තර සිනමා උළෙලවල් හි දී ප්‍රදර්ශනය කළ පිටපත වෙනුවට දේශීය ප්‍රේක්ෂකයා වෙතට වෙනත් පිටපතක් ගෙන ඒම

* පූර්ව ප්‍රචාරක පෝස්ටර්වලින් සිනමා කෘතියේ ප්‍රධාන චරිතය නිරූපණය කල අනෝමා ජිනාදරී ගේ රුව ඉවත් කිරීම.

* අනෝමා ජිනාදරී කෘතියට කරන ලද සාධාරණයටත්, ඇගේ ආත්ම පරිත්‍යාගයෙන් යුත් රංගනයටත් ගිවිසුම් ප්‍රකාරව එකඟ වූ මුදල ලබා නොදීම.

*දසුන් පතිරණගේ නිරුවත් සේයාරුව සහිත ප්‍රචාරක පෝස්ටරයක් නිර්මාණය කොට තෝරාගත් සිනමා ශාලා කිහිපයක පමණක් කප්පාදු නොකරන ලද පිටපත ප්‍රදර්ශනය කිරීම.
(Director Uncut Version)

(මෙහි ලා වඩාත් භයානක සහ ජුගුප්සාජනක කාරණය වන්නේ facebook ඇතුලු සමාජ මාධ්‍යයන් හි දී පිටපත කප්පාදු නොකරන ලදැයි දහ අතේ දිව්රා සිටීම සහ එවැනි කප්පාදු කිරීමක් තිබේ නම් ඔප්පු කරන ලෙස ඇතැමුන්ට අභියෝග කිරීමත්ය)

කප්පාදු නොකරන ලද සම්පූර්ණ පිටපත ‘අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි’ ලේබලය යටතේ තිරගත කිරීම. (පලමුව තිරගත වූ පිටපත ‘අම්මා බලන්නට එන්න’ වැනි පාඨයක් යටතේ තිරගත කරන ලද සංජීවට දෙවනුව තෝරාගත් තේමාවේ ඇති ප්‍රතිවිරෝධය නොපෙනී යතැයි අපට විශ්වාස කළ නොහැකිය. ප්‍රතිවිරෝධතා සහිත ලේබලයන් දෙකක් යටතේ එකම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ සිනමාකරුවා ලෙස සංජීව ඉතිහාසගත වනු ඇත.)

* සිනමාකෘතිය සමාජ මාධ්‍ය තුලදී විවේචනයට ලක් කළ ඇතැමුන්ට එරෙහි සංජීවගේ ප්‍රතික්‍රියා (උදා Block කිරීම, unfriend කිරීම)

මේ සියලු කාරණා නිරීක්ෂණය කිරීමේ දී ලියුම්කරු තුළ ඇති වූයේ දැඩි වික්ෂිප්ත බවකි. මිනිසුන් අසංස්කෘතික වීමත්, අශික්ෂිත වීමත් අරභයා නිබදව මැසිවිලි නැගූ සංජීවගේ ඉහත ක්‍රියා කලාපය අප වටහා ගත යුත්තේ කවර සංස්කෘතික තර්කණයකට අනුවද..? සංජීව පිළිබද අප දන්නා ඔහුගේ පුද්ගලික තතු මග හැර යා නොහැකි ක්ෂුද්‍ර ලක්ෂ්‍යය ඇත්තේ මෙතැනය.

ත්‍රිකුණාමලයේ තඹලගමුව නම් දුෂ්කර මායිම් ගම්මානයේ හැදී වැඩෙන සංජීව එවක පැවති කුරිරු යුද්ධයේත්, දරුණු දරිද්‍රතාවයේත්, සමාජ අයුක්තියේත් පීඩාවට සෘජුව ගොදුරු වූ අයෙකි. සිය ඉරණම දෛවය විසින් තීන්දු කරන තෙක් බලා නොසිටින සංජීව සිය ජීවන ලාලසාවන් සොයා අග නගරයට සේන්දු වන්නේ දශක දෙකකට පමණ එපිටදීය. එහිදී ඔහුට මුහුණ දෙන්නට වන අනන්ත දුක්ඛ දෝමනස්සයන් සහ පීඩාවන් වනාහී අපේ යුගයේ තරුණ පරම්පරාව මුහුණ දෙනු ලැබූ අභි‍යෝගයන්ගේ පොදු රූපාකාරයකි. සිය ජීවන පථය පෙරටුව පැනෙන අභියෝග හමුනේ දෑතම ඔසවා යටත් වෙනවා වෙනුවට මරාගෙන මැරෙන සටනක් කරන්නට සංජීවට සිදු වේ. හද්දා පිටිසරකින් පැමිණ අග නගරයේ පය ගසන්නට ඔහුට පිටුබලය සපයන්නේ ඒ මාරාන්තික සටනය. ගුවන් විදුලි නිවේදකයකු, රූපවාහිනී නිවේදකයෙකු, පිටපත් රචකයෙකු වශයෙන් මාධ්‍ය ආයතන ගණනාවක් හරහා කරළියට එක සංජීව ඉනික්බිති සිනමාව සම්බන්ධ කෘතීන්කීපයක්ද,කෙටි චිත්‍රපටයක්ද ජනගත කරයි. ඔහුගේ පළමු සිනමා කෘතිය වන flying fish නිර්මාණය වන්නේ මේ සියල්ලට පසුවය. විදෙස් සිනමා උළෙලහි දී ප්‍රදර්ශනය වීමත්, ඇගයීමට ලක් වීමත් හේතුවෙන් සංජීව කරා කිසියම් කීර්තියක් ගලා එන අතර මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතිය විසින් වාරණයට ලක් කිරීම හේතුවෙන් flying fish මෙරටදී දැඩි ආන්දෝලනයකට ලක් වේ.

තඹලගමුවේ ඉපිද, කසිප්පු කාරයෙකු හෝ මංකොල්ලකාරයකු බවට පත් වන්නට ඉරණම් කෙටුණු ජීවිතයක්, සිය අසමාන ධෛර්යය හා අධිෂ්ඨානය නිසාම, තමන්ට රිසි පථයක, තමන්ට රිසි දිශාවකට මෙහෙයවා ගන්නට සමත් වූ තරුණයෙකු වශයෙන් නම් සංජීව වනාහී කදිම උදාහරණයකි. එහෙත් නරක ලක්ෂණය වන්නේ සිය ජීවන ආරම්මණය සාක්ෂාත් කරගනු වස් අපකීර්තිමත් මාවතක ගමන් කිරීමට සංජීව තුල ඇති නැමියාවයි. flying fish රූ ගත කිරීමෙන් අනතුරුවද සංජීවට විවිධ චෝදනා එල්ල වූ අතර ඔහුගේ අතීත මිතුරන් පවසන පරිදි බැගෑපත් වීම්, පිණ්සෙන්ඩු වීම්, ගේම් ගැසීම් ආදියෙන් ඔහුගේ ධෛර්යයේ මාවත අනවශ්‍ය ලෙස කිලිටි වී තිබේ. ඇත්තෙන්ම දැවෙන විහඟුන් ඇසු‍රේ මේ නිර්මාණය වී තිබෙන කතිකාව තුලින්ද පරාවර්තනය වන්නේ සංජීවගේ මෙන්න මේ කිසියම් අසංස්කෘතික විලාසයකි.

අගනුවර සංස්කෘතික අවකාශයන්හිදී ඉතා රැඩිකල් කතා කියන සංජීව ‘දැවෙන විහඟුන්‘ මංගල දර්ශනයට මෛත්‍රීපාල සිරිසේන කැදවීම ජැක්සන් ඇන්තනී පන්නයේ තක්කඩි කමකි. එන්රිකේගේ ප්‍රසංගයට සහභාගි වූ යුවතියන්ට මඩු වලිගයෙන් තලන්නට යෝජනා කළ නායකයකු මංගල දර්ශනයේ ප්‍රධාන ආරාධිතයා කරවන විට සංජීව නූතන මතිමතාන්තර අප සමග දෙඩෙව්වේ කට කසනවාටදැයි අසන්නට සිතේ. රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියට එරෙහිව නිරන්තර දොඩවන සංජීව, ඒ රාජපක්ෂගේ හොරිකඩ කුක්කකු වන සෝමරත්නගේ කරට අත දමා ගනිද්දී අපුලක් දැනුනේ නැද්දැයි සංජීවගෙන් අසන්නට අපට සිදු වේ. සෝමරත්නලා විසින් ප්‍රදානය කරනු ලබන ප්‍රාග්ධනයේ ශුද්ධ අශුද්ධ බව පිළිබදව කතාව පැත්තකින් තිබ්බත් අඩුම ගානේ මේ ඔඩොක්කු කුක්කන්ගේ කෙළි බඩුවක් නොවී සිටීමේ තරම් විඥානයක් සංජීවලාට තිබිය යුතුය. එකම සිනමා පටය එක විටෙක ‘ළමා චිත්‍රපටයක්‘ වීමේත්, තවත් විටෙක ‘අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි‘ චිත්‍රපටයක් වීමේත් උභතෝකෝටිකයට එවිට ප්‍රේක්ෂකයා ගොදුරු වන්නේ නැත.

වඩා සංස්කෘතික, සුපසන්, මානවීය සාරයන්ගෙන් සමන්විත සමාජයක් පිළිබද සිහින දකින, ඒ වෙනුවෙන් කලාත්මත භාවිතාවක යෙදෙන නිර්මාණකරුවෙකු මෙබඳු පන්නයේ නිහීන, නොතරම්, අසංස්කෘතික භාවිතාවකට ඇද වැටීම යනු පෙරලා සංජීව නැමැති තනි මිනිසාගේ පුද්ගලික ප්‍රශ්නයක්ද නොවේ. එය මෙවන් අවවර්ධිත ධනේෂ්වර කොදෙව්වක නරුම බවද, පසුගාමීත්වයද වේ. සියයට සියයක්ම ප්‍රතිපත්තිගරුක වීමෙන් ඔළුව උස්සන්නට ලැබෙන්නේ නැතුවා පමණක් නොව, පය ගසා සිටින පොලවද අහිමි වේ. මේ වනාහී පැවැත්ම අබියස හෘද සාක්ෂිය ද පශ්චාත් භාගයද දෙකම එකවිට ඉල්ලා සිටින සමාජයකි.

සංජීවලා වැනි තරුණ නිර්මාණකරුවන් අවශ්‍ය වන්නේ මේ නරුම සමාජ ක්‍රමය වෙනස් කිරීමේ සංස්කෘතික පෙරමුණටය. ඒ සදහා සංජීවලා සමාජයට ඉදිරියෙන් සිටිය යුතුය. ධනවාදයේ මේ කාර්තුවේදී ශුද්ධ වූ සියල්ල කෙලෙසෙන්නේ යැයි මාක්ස් කීවේ කලකට ඉහතදීය. කලාවටද,කලාකරුවාටද ඉන් ගැලවිල්ලක් නැත.”..ආ..මාක්ස් පවා එහෙම කියපු එකේ අපි හිතේ හැටියට කෙළෙසෙමුයි” කියමින් මේ නරාවලටම පනිනවා වෙනුවට කලාකරුවා සතු විප්ලවීය කාර්යභාරයක් තිබේ. එය ‍ධෛර්යත් අධිෂ්ඨානයත් කැපවීමත් ඉල්ලා සිටින මාවතකි. තඹලගමුවෙන් රොටර්ඩෑම් ගිය සංජීවට ධෛර්යයේ ඒ අසමාන කුළු ගෙඩි පහර ඔසවන්නට බැරි කමක් නැත.

අප මෙතෙක් කතා කලේ කෘතියෙන් පරිබාහිරව පැවති ව්‍යාපෘතිය පිලිබදවය. දැන් අපි සිනමා කෘතිය දෙසට හැරෙමු.

අප ‘දැවෙන විහඟුන්‘ නරඹන්නට සිනමා ශාලාවට ඇතුළු වන්නේම සිනමා පටය සම්බන්ධව කල් තියා නිර්මාණය කරගත් ප්‍රතිරූපයක්ද සමගිනි. සිනමා පටයට අදාලව විදේශයන්හි සිදු වූ ඇගයීම් සහ ඒ ආශ්‍රයෙන් දියත් කෙරුණු පූර්ව ප්‍රචාරණය ඒ ප්‍රතිරූපය නිම කරන්නට ඉවහල් විය. ඒ වනාහී ලාංකේය සිනමාව පිළිබදව ඉතාමත් අපේක්ෂා සහගත සුබවාදී සිතුමෙන් සහ ප්‍රාර්ථනාවෙන් සමන්විත වූවකි. එහෙත් සිනමා පටය දිග හැරෙන්නට දිග හැරෙන්නට අපගේ අපේක්ෂාවන්හි රශ්මිය සහ දීප්තිය මිලාන වන්නට පටන් ගනී.

ප්‍රේක්ෂකයකු වශයෙන් දැවෙන විහඟුන් මේ ලියුම්කරු හා කිසිදු සෞන්දර්යාත්මක සබදතාවක් ගොඩනගන්නේ නැත. ඒ වෙනුවට ඉතාම ඕලාරික පිටපතක් මත පදනම් වූ රූප රාමු පෙළක් තිරයේ දිස්වේ. ප්‍රේක්ෂකයා ඔහේ බලා සිටින්නකු බවට පත් වෙනවා මිසක්, කෘතිය හා සජීවී ගනුදෙනුවකට ආරාධනා කරන්නේ නැත. ජාත්‍යන්තර සිනමා උළෙල වල විනිසුරු වරුන්ට “දෝදු” දැයි සිතෙන දියාරු රූප රාමු එකතුවකි ඒ. කුසුමේගේ සැමියා මානවවාදියෙකු බව අඟවන්නේ මිත්තණියකට රුපියල් දහයක් අඩුවෙන් මාළු විකිණීමෙනි. හරියට පුරුදු වන්නට ලියූ පිටපතක් මෙනි. අඩුම ගානේ ජනතා විමුක්ති පෙරමුණට ඔහුගේ තිබුණු සම්බන්ධයවත් පැහැදිලි නැත. පාත්‍ර වර්ගයාගේ දෛනික ජීවිතය ඇසුරින්ම ඉතා ලෙහෙසියෙන් මතු කර ගත හැකිව තිබූ ප්‍රබල කම්පන තරංග අධ්‍යක්ෂකගේ අතැගිලි අගින් රූටා ගිය සෙයකි. සිනමා පටය ආරම්භයේදීම ඇසෙන්නේ ගුවන් විදුලියේ පිරිත් විකාශයකි. ඒ කුසුමේගේ සැමියා මාළු වෙලදාම පිණිස නිවසින් පිටවන මොහොතය. විප්ලවවාදියෙකු වීම කෙසේ වෙතත් ඔහු හොද සිංහල බෞද්ධයෙකු බව පෙනේ. එහෙත් මේ හොද සිංහල බෞද්ධයාට ජීවිකාව පවත්වා ගන්කට වෙන්නේ මාළු වෙලදාමෙනි. සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති තරමට දකින්නට ලැබෙන්නේ මෙබදු ප්‍රතිවිරෝධතාය. කදිමට නිරූපණය කළ හැකිව තිබූ මෙබදු නිරීක්ෂණයක් අධ්‍යක්ෂවරයා අතින් ඉතාම තනුක ලෙස ඉදිරිපත් කෙරෙයි. එබදු අවස්ථා ඇත්තේ එකක් දෙකක් නොවේ. සිනමා පටය පුරාම ඇත්තේ මෙබදු ඕලාරික රූපාවලියක් මිස අපගේ භාවයන් ප්‍රමුදිත කරන රූප කාව්‍යයක් නොවේ.

කුසුමේගේසැමියා මාළු විකුණයි. මහේන්ද්‍ර පෙරේරා මස් මඩුවක් පවත්වා ගෙන යයි. දර්ශන ධර්මරාජ් ආනෝමාගේ (කුසුමේගේ) මාංශයට ලොබ බදිති. මහේන්දත් ඔහුගේ චක් ගෝලයෝත් කුසුමේ ගේ මාංශය බලහත්කාරයෙන් පැහැර ගනිති. පුබුදු චතුරංග ද එක්තරා ආකාරයක මස් මඩුවක් (ගණිකා නිවාසයක්)පවත්වා ගෙන යති. ලංකාවේ ඛේදවාචකය අවශ්‍ය පමණටත් වඩා හොදින් නිරූපණය කළ හැකිව තිබූ කතා වස්තුවක් මේ හැටි ඕලාරිකවීම පිළිබදව නිර්මාණකරුවාට සමාව දිය නොහැකිය.

කතා වස්තුවේ කර්කෂ බව සිදුවීම් තුලින් පිටට පනින්නේ නැත. සිදුවීම් අපව කුප්පන තරම් සන්සුන්ය. චරිත විසින් වහරන භාෂාව දිළිදු පිටිසර ගමක භාෂාව නොවේ. එය මටසිලිටිය. අර්ධ නාගරිකය. බොහෝ නළුවන්ට නිලියන්ට කරන්නට යමක් නැත. ඇත්තේ පෙනී සිටින්නට පමණි. විදුහල්පතිගේ චරිතය බලහත්කාරයෙන් එබ්බවූවකි. එනිසාම සිනමා පටයේ කූටප්‍රාප්තිය ප්‍රේක්ෂකයා තුළ කිසිදු භාවමය තිගැස්මක් ඇති නොකරයි. සිපිරි ගෙයින් සුදු වතින් සැරසී මධ්‍යම පාන්තික සන්සුන් බවකින්(මේ මධ්‍යම පාන්තික සන්සුන් බව ඇගේ චරිතය පුරාම දැකිය හැකිය.) සිටින කුසුමේ නිදහස ලබා එන අතරමගදීම විදුහල්පති වරයාට හත් අට වතාවක් මන්නෙන් කොටනු ඇතැයි ප්‍රේක්ෂකයා සිහිනෙන්වත් බලාපොරොත්තු වන්නේ නැත. එය හරියට ජනප්‍රිය දෙමළ චිත්‍රපටියක අවසානය මෙනි. වෙනසකට ඇත්තේ එබඳු දෙමළ චිත්‍රපටියක තරම්වත් මේ කූටප්‍රාප්තිය ප්‍රේක්ෂකයාට නොදැනීමයි. දෙමළ චිත්‍රපටියකදී නම් දුෂ්ඨයා මරා දමන්නට ප්‍රේක්ෂකයා ද වීරයා හා භාවාත්මකව එක් වේ. සුපුරුදු පරිදිම මේ කූටප්‍රාප්තියේ දී ද ප්‍රේක්ෂකයා සිටින්නේ චිත්‍රපටය හා ඒකාත්මිකව නොවේ. ඊට බොහෝ ඈතින්

සති අන්ත පුවත්පතක අපරාධ විශේෂංගයක් කියවනවිටත් මීට වඩා තිගැස්මක් අප තුළ ඇති වේ. සිනමාකරුවාගේ කාර්යභාරය ඊට වඩා ගැඹුරු වූවකි. කලාත්මක වූවකි. එවන් ගැඹුරක් හෝ කලාත්මකභාවයක් දැවෙන විහඟුන් ඇසුරින් ප්‍රකට නොවේ. සිනමාව වනාහී මීට වඩා බැරූරුම් කාර්යයක් බව අප සංජීවට අමුතුවෙන් කිව යුතු නැත. ඔහුම කියන පරිදි ඔහු ස්වකීය විෂය හා ආත්මයෙන් බද්ධ වූවකි. ජීවිතය සිනමාව කරගත්තෙකි. නිර්මාණාත්මක ලක්ෂණ පිළිබද කතිකාව මදකට පැත්තකින් තිබ්බත්, සිනමාව ආත්මය කරගත් අධ්‍යක්ෂකවරයකුගේ කලා අධ්‍යක්ෂකට අර තරම් වරදින්නට පුලුවන්ද?

සංජීව පුෂ්පකුමාර නම් වූ අධ්‍යක්ෂවරයාට කලාකරුවකු ලෙස තෝරා බේරාගන්නට තරම් දේවල් ගෙවුණු සති කිහිපයේදී දැවෙන විහඟුන් ගැන ලියැවී තිබුනි. එහෙත් ඔහු දක්වන ප්‍රතිචාර අනුව, සංජීව විශ්වාස කරන්නේ ‘අසමත්‘ කෘතිය නොව ලංකාවේ ප්‍රේක්ෂකාගාරය බවය. එසේ සිතන්නට සංජීවට ඇති කැමැත්ත ඔහුගේ අයිතියයි. ඒ අයිතිය යටතේ ඔහු තව තවත් සිනමා කෘති නිර්මාණය කරනු ඇත. ඒ සිනමා කෘති යුරෝපීය සිනමා උළෙලහි දී ඇගයීමටද පාත්‍ර වනු ඇත. ඒ අතර වාරයේ ලංකාවේ ප්‍රේක්ෂකාගාර කෘතියක්ද ව්‍යාපෘතියක්ද යන ප්‍රශ්නය අසමින් සංජීව පෝරකයට නංවනු ඇත.

අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ දැවෙන විහඟුන් වනාහී කෘතියක් පමණක් නොවන බවය. එය ව්‍යාපෘතියකි. කෘති නිර්මාණය කරනවාට අමතරව ව්‍යාපෘති සැලසුම් කරන්නට නිර්මාණකරුවන්ට සිදු වන්නේ අප පෙලන සමාජ ආර්ථික සංස්කෘතික කොන්දේසි එපමනට දුෂ්ඨ බැවිනි. නරුම බැවිනි. සංජීව වනාහී ඒ සදහා ආසන්නතම උදාහරණයයි. නොවේ නම් ගොදුරයි. අභිමතාර්ථ අරමුණු සාධනයට නැමුණු මූසිල නම් අධිෂ්ඨානශීලී කලාකරුවා අපට හමු වන්නේ ඈත අතීතයේ ආසියාතික සමාජයේ සීමා බන්ධන අතරිනි. එහිදී මූසිලට අත් වූයේ පරාජජයයි. විනාශයයි. එහෙත් ධනවාදය විසින් විනාශ කරන්නේ කලාකරුවාගේ අධ්‍යාත්මයයි. කලාත්මක ශක්‍යතාවයි. හෘද සාක්ෂියයි. ව්‍යාපෘතිය විසින් කෘතිය ආක්‍රමණය නොකරන්නට නම් සංජීවලා සිනමාව ගැන පමණක් හදාරා පළ නැත. සමාජ චලිතයේ කොන්දේසි ද රිද්මයදද දැන සිටිය යුතුය. කලාකරුවා සතු සැබෑ සාරය විසින් විකසිත කලාත්මක ඥානය අප හද මනස පුබුදුවනු ඇත්තේ එවිට පමණි. එතෙක් ඔහුට කියන්නට අපට තිබෙන්නේ මෙපමණකි.

සංජීව…පරිස්සමින් සහෝදරයා…..

පවන් පරවාහැර