தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
වෘත්තිකයන්ගේ වෘත්තිමය වගකීම සහ සමාජමය වගකීම එක් කළ යුතුයි - ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෘත්තිකයන්ගේ වෘත්තිමය වගකීම සහ සමාජමය වගකීම එක් කළ යුතුයි – ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමය



ඉංජිනේරුවන් ඇතුළු වෘත්තික ක්ෂේත්‍රවල පැවැත්ම ඇත්තේ ඔවුන් විසින් ඉටු කරන සමාජමය වගකීම් මත බවද වෘත්තිමය වගකීම සමාජමය වගකීමෙන් නිදහස් නොවන බවද ඊයේ(27) කොළඹදී පැවති වෘත්තික සම්මන්ත්‍රණයකදී අවධාරණය විය.

ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමය විසින් ඊයේ සවස කොළඹ ජාතික පුස්තකාල ශාලාවේදී පැවැත්වූ සම්මන්ත්‍රණයේදී මෙම අදහස් අවධාරනය කරමින් වෘත්තියවේදීහු අදහස් දැක්වූහ. විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරු සේවයේ නියැලී සිටින වෘතිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටි මෙම සම්මන්ත්‍රණයට තේමා කරගත් අදහස් එහි සම්පත්දායකයන් ලෙස සහභාගි වූ වෘත්තියවේදීන් විසින් ඉදිරිපත් කරනු ලැබිණි.
පරිසරය ජනජීවිතය වනසන ඊනියා සංවර්ධනයටත් ශ්‍රීලංකා – සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමටත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයටත්
විදෙස් ණය ව්‍යාපෘති හරහා කෙරෙන ආර්ථික කොල්ලයට එරෙහිවත් හඩ නගමින් නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන්  එක් වෙමින් විවිධ පාර්ශ්ව ආවරණය කරමින් පළ කළ අදහස් වලින් මෙම සම්මන්ත්‍රණය සහ ඉන් පසුව පැවති විද්වත් සාකච්චාව හරවත් කෙරිණි.

සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ මහාචාර්ය R. ශාන්තිනී, ලෝකයේ සංවර්ධනය නියාමනය කරන ක්‍රමයේ ඇති සුවිශාල ගැටලු සහ නිසි ලෙස සංවර්ධනය නියාමනය නොකළ කිසිදු රටක් සංවර්ධනය අත්පත් කරගෙන නැති අයුරු ඉතා සංක්ශිප්තව සහ දත්ත ඇසුරින් අනාවරණය කළාය. එක් එක් වෘත්තීන්වල සහ අදායම්වල විෂමතා නිසා ඒ ඒ වෘත්තීන්ට හිමිකර දී ඇති පිළිගැනීම ගෞරවය වෙනස් වී ඇති අයුරු මෙන්ම ඒ හේතුවෙන් ඇතිවන වෘත්තීය අධ්‍යාපනයේ විෂම ව්‍යාප්තිය සම්බන්ධයෙන්ද වැරදි අර්ථගැන්වීම් සිදුවී ඇති ආකාරයද පැහැදිලි කළාය.
සම්මන්ත්‍රණයේ අදහස් දැක්වූ ඉංජිනේරු ලසන්ත විසින් ශ්‍රීලංකා සිංගප්පුරු ගිවිසුම හරහා නවලිබරල් කොල්ලකාරී ආර්ථික රටාවකට අවශ්‍ය කරන කොන්දේසි එකින් එක සපුරාගන්නට උත්සාහ දරණ ආකාරය විස්තර කළේය. ඉංජිනේරු කුමාර විසින් අධ්‍යාපනය පිලිබඳ ඇති සංකල්ප සහ එහි සමාජමය අවශ්‍යතාව කුමක්ද යන්න පැහැදිලි කළේය. ශාස්ත්‍රීය අධ්‍යාපනය හරහා ව්‍යාජ වටිනාකම් ඇතිවීම සහ වෘත්තීය අධ්‍යාපනයට වෙළඳපොල ඉල්ලුමක් නිර්මාණයවීම නිසා හටගන්නා අර්බුදය කෙතරම්ද යන්න පැහැදිලි කිරීමට ඔහු උත්සාහ කළේය. එහිදී නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමේ වැදගත්කම සහ පෞද්ගලීකරණයට එරෙහිවීමේ වැදගත්කම ඔහු විසින් තවදුරටත් පැහැදිලි කළේය.

ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමයේ අරමුණු සහ මෙවැනි වෘත්තියවේදී සංවාදයක් ආරම්භ කිරීමේ ඉලක්ක ඉංජිනේරු කැලුම් ප්‍රියන්ත විසින් පැහැදිලි කළේය. ඔහු සඳහන් කළේ තම සංගමයේ ව්‍යායාමය වන්නේ වඩා යහපත් වූ වෘත්තීය කාර්යභාරයක් සමාජ කාර්යභාරයක් උදෙසා ආරම්භක පියවරක් තැබීම බවයි. සංවාද සභාවට සම්බන්ධ වූවන්ට ස්තුති කළ ඉංජිනේරු තරංග අවධාරනය කළේ වඩා වැදගත් පොදු ජයග්‍රහණ අත්පත් කරගැනීම වෙනුවෙන් යම් දිශානතියකට ගමන්කිරීම මිස ජයග්‍රහණ අත්පත් වේද නොවේද යන්න පිලිබඳ දෙගිඩියාවෙන් කාලය ගෙවා දැමීම නොවන බවයි.