தமிழ்
English
Contact
Saturday 19th June 2021    
(Exclusive) - ඇසිඩ් කාන්දුවක් නිසා වරාය දෙකකින් ප්‍රතික්ෂේප වූ නැව ආවෙ චීනයෙන්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

(Exclusive) – ඇසිඩ් කාන්දුවක් නිසා වරාය දෙකකින් ප්‍රතික්ෂේප වූ නැව ආවෙ චීනයෙන්!



(TopNews) මේ වනවිට කන්ටේනර් දහස් ගණනක් සමග දැවී යමින් පවතින X-Press Pearl නෞකාව ගමන් ආරම්භකර ඇත්තේ චීනයේ වරායකින් බවද ඇසුරුම් දුර්වලතා නිසා අරාබි මුහුදේදී රසායන ද්‍රව්‍ය කාන්දුවක් ඇතිව කොළඹ වරායට යොමුකර ඇති බවද අනාවරණය වේ.

මෙහි පළවන ඡායාරූපය ඊයේ (මැයි 26) ගුවන් හමුදාවෙන් ගන්නා ලද්දකි)

මෙම නැව අයත් සිංගප්පූරුවේ X-Press Feeders සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හාට්නෝල් ප්‍රකාශකර ඇති ආකාරයට ලංකාවට සැතපුම් දහස් ගණනක් දුරදී කාර්ය මන්ඩලය විසින් රසායන ද්‍රව්‍ය කාන්දුව හඳුනාගෙන ඇත. නැවේ කපිතාන්වරයා මෙම අවදානම් තත්වය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයට හා ඉන්දියාවට වරායන් දෙකක සහාය ඉල්ලා සිටියද නැව තුළ පවතින අනතුරුදායක තත්වය මත ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇත. නමුත් අවදානම් සහගත වෙළඳ ද්‍රව්‍ය රැගත් මෙම අවදානම් කන්ටේනර් තොගය ලංකාවේ ප්‍රධානතම වරාය වෙත සේන්දු වූයේ කුමන හේතුවක් නිසාද යන්න ඔහු පවසා නැත.

ලංකාවේ චීන සබඳතා හේතුවෙන් මෙම නැව භාරගැනීමට මෙරට බලධාරින් අවසර දෙන්නට ඇතැයි ඇතැම් අංශ අනුමාන කරයි. සාමාන්‍යයෙන් නැවක ඇතිවන අනතුරක් වරාය සේවා හා නාවික හමුදා මට්ටමෙන් විසඳෙන අතර, යම් අවස්ථාවක රාජ්‍යතාන්ත්‍රිකයන් මැදිහත්වනුයේ නම් ඒ මිනිස් ජීවිත සම්බන්ධ වගකීම පාර්ශ්වයෙනි. වරාය හා නාවික කටයුතු ඇමතිවරයා පෞද්ගලිකවම මෙම නැව නිරීක්ෂනයට නාවික හමුදා යාත්‍රාවකින් නැව අසළට ගමන් කිරීමත් නැවේ ගින්න නිවා දැමු බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කිරීමත් විසින් මෙම නැව සම්බන්ධ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ වැදගත්කමක් සනිටුහන් කරයි.

කන්ටේනර් බහලුම් සහිත නැව්වල යාන්ත්‍රික සාධක මත ඇතිවන අනතුරුවලට අමතරව ආපදා ඇතිකරන ප්‍රමුඛ හේතුව ලෙස සළකනු ලබන්නේ නැව මතුපිට හටන්නා දෝෂයන්ය. ගල්අඟුරු රත්වීමෙන් ගිනිගැනීම ඉන් ප්‍රධාන ආකාරය ලෙසත් රසායන ද්‍රව්‍ය ඇසුරුම්වල දුර්වලතා නිසා ඇතිවන කාන්දුවීම් දෙවැනි දෙවැනි හේතුවක් ලෙසත් නාවික රක්ෂණ සමාගම් විසින් නිර්ණයකර ඇත.

කෙසේවෙතත්, මේ වනවිත් සම්පූර්නයෙන් ගිනිගෙන දැවී යමින් පවතින මෙම නැවේ අලාභය නැව් සමාගම හා වෙළඳ ද්‍රව්‍ය හිමි චීන සමාගම්වලට දරන්නට සිදුවනු ඇත.

නමුත් මෙම නැව දැවී මුහුදුබත්වනුයේ ලංකාවේ සාගර කලාපයේ වීම නිසා ඇති වන පාරිසරික විනාශය සාගරයට පමණක් සීමා නොවී සමස්ත වෙරළතීරයටම බලපෑම් සහගතය. දැනටමත් පානදුර සිට හලාවත දක්වා වෙරළතීරයේ විෂ ද්‍රව්‍ය තැන්පත් වෙමින් ධීවර කටයුතුවලටත් ජනජීවිතයටත් හානි පමුණුවමින් තිබේ.

මෙම පසුබිම තුළ මෙම අනතුරුදායක නෞකාව ලංකාවේ ප්‍රධානතම වරායට ගෙන්වා ගැනීමේ තීරණය ලබා දුන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය ඉතිරිව තිබේ.