Posted on 06.12.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු විසින් තම රාජකාරියට ජනාධිපති ගොඨාභය විසින් කළ බලපෑමක් හෙළිදරව් කිරීමත් ඉන්පසු දින එය ඉල්ලා අස්කරගැනීමත් පසුපස මේ රටේ දේශපාලනයේ කියැවෙන ‘සුදුවෑන් තර්ජන’ නැවත කරළියට පැමිණ තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විසින් ‘පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව’ හෙවත් ‘කෝප්’ කමිටුවට ප්‍රකාශයක් කිරීමෙන් පසු දින කෝප් කමිටුවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් තමන් එම කමිටුවේදී පසුගියදා කළ ප්‍රකාශකය තුළ වූ ‘ඉන්දීය අගමැති’ යන වචනය එම ප්‍රකාශයෙන් ඉවත් කරගන්නා බව පවසා ඇත. කමිටුවේදී පැවැති පීඩනය හමුවේ එම වචනය ප්‍රකාශ කෙරුණු බවක් සභාපතිවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.
විදුලි මණ්ඩල සභාපතිවරයා මෙම දෝෂය සම්බන්ධයෙන් ‘කොන්දේසි විරහිතව’ සමාව ඉල්ලා තිබේ. විදුලි මණ්ඩල සභාපති ෆර්ඩිනැන්ඩු ‘කෝප්’ කමිටුව හමුවේ කළ ප්‍රකාශයේ සාරාංශය මෙසේය.
“ජනාධිපතිතුමා පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා වගේ මාව ගෙන්වලා කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක. ඉන්දීය අගමැති මෝදි මට බලකරනවා මේක දෙන්නො කියනවා කියලා. පස්සේ මම කිව්වා, මේක මටත් විදුලිබල මණ්ඩලයටත් අයිති ප්‍රශ්නයක් නොවයි , අයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා. ජනාධිපතිතුමා කියන හින්දා මම සටහනක් ලියලා දැම්මා. මට මෙහෙම ජනාධිපතිතුමා නියෝග දෙනවා. කියලා. මුදල් අමාත්‍යංශ ලේකම් කිව්වා මේක විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රශ්නයක් නොවෙයි කියලා”
මෙවැනි නිශ්චිත සඳහනක් කළ පසුව පැය ගණනක් තුළ එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට සිදුව ඇත්තේ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට එල්ල වූ තර්ජනයක් නිසා බව විශ්වාසදායක ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙරට දේශපාලන නායකත්වයේ සැබෑ ස්වභාවය මෙම හෙළිදරව්ව නිසා නිරුවත් කෙරුණු පසුව ජනාධිපතිවරයා වහාම ට්විටර් පණිවුඩයකින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරණ ලදී.
කෙසේවෙතත්, සභාපතිවරයාට සිය ප්‍රකාශයේ වචන ඉවත් කරගැනීමට බලපෑම් සිදුකරනු ලැබුවේ සුදුවෑන් තර්ජනයකින් බව අපගේ ආරංචිමාර්ග පවසයි.