Posted on 09.25.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විශාල වියදමක් දරමින් රාජපක්ෂ ආණ්ඩුව විසින් සැලසුම් කර ඉදි කළ අධිවේගි මාර්ග පද්ධතිය පාඩු පිට පවත්වාගෙන යාම නිසා එම මාර්ග නඩත්තු වියදම් නැවත මහජන අරමුදලින් පියවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
මේ වනවිට ඉදිකර ඇති කොට්ටාව- ගොඩගම E 01, පෑලියගොඩ කටුනායක E 02, කොළඹ පිටත වටරවුම් අධිවේගි මාර්ගය E 03 මගින් ආදායම් උපයාගන්නට හැකිව ඇතත් එම මාර්ගවල වියදම් පියවාගන්නට එකී ආදායම ප්‍රමාණවත් නැත. රු.බිලියන 6.6ක් පමණ නොගෙවන ලද බිල් ගෙවීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අධිවේගි මාර්ගයෙන් උපයාගත් මුදල්වලින් රු.බිලියන 4ක් භාණ්ඩාගාරයට යවා ඇත. අධිවේගි මාර්ග පුලුල් කිරිම හා වැඩිදියුනු කිරීම වෙනුවෙන් බිලියන 3ක්ද නඩත්තු වියදම් බිලියන 1.6ක්ද පුනරුත්ථාපනය හා වැඩිදියුනු කිරීම සදහා තවත් බිලියන 1.6ක්ද වියදම් ලෙස පවතින අතර ඇතැම් වියදම් සදහා දේශීය බැංකුවලින් ණය ලබාගෙන තිබෙන බවද වාර්තා වේ. එහෙත් අධිවේගි මාර්ග භාවිත කරන්නන් විසින් ගෙවන මුදලින් සම්පූර්ණ වියදම් පියවාගන්නට නොහැකිව ඇත. මේ තත්වය තුළ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් එම ණය පියවීමට සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් වාර්ෂික අයවැයෙන් මාර්ග සංවර්ධනයට වෙන් කෙරෙන ප්‍රතිපාදන ඒ ප්‍රමාණයෙන්ම නිදහස් නොකරන තත්වයක් ඇති බවද ඒ නිසා මාර්ග නඩත්තුව යනු ණයවීම් ප්‍රමාණයක් ලෙස ඉතිරිවන බවද එම මූලාශ්‍ර හෙලිදරව් කරයි.
මෙම තත්වය තුළ දැනට ක්‍රියාත්මක අධිවේගි මාර්ග තුනම රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ලෙස ප්‍රතිව්‍යුහගතකරණය සදහා ආයෝජකයන් කැදවීමේ කටයුතු මේ වනවිට ආණ්ඩුව විසින් කරගෙන යයි. පාඩු ගබන ව්‍යාපෘති නඩත්තු කිරීමට එවැනි ආයෝජන ආකර්ෂණය කරගත හැකිදැයි විශ්වාසයක්ද නැත. කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව විසින් තවදුරටත් මධ්‍යම අධිවේගි මාර්ගය, රුවන්පුර අධිවේගි මාර්ගය හා උතුරු අධිවේගි මාර්ගය වශයෙන් තවදුරටත් මෙම ව්‍යෘපෘති ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ තීරණ ගෙන ඇත. මේ ව්‍යාපෘති යනු කෝටි ගණනින් දේශපාලකයන්ටත් ඉහළ නිලධාරින්ටත් කොමිස ලබාගන්නට හැකි ධන උල්පත් බවට පත්වන නමුත් අවසානයේ ණය ගෙවීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට බවද පැහැදිළි වෙමින් තිබේ.