தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
Facebook කෑදරකම නිසා WhatsApp ජරමරයක - රහස්‍යතා කොන්දේසි අලුත් කිරීම කල් දමයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

Facebook කෑදරකම නිසා WhatsApp ජරමරයක – රහස්‍යතා කොන්දේසි අලුත් කිරීම කල් දමයි!



මෑත කාලයේ ස්මාට් දුරකථන භාවිතකරන්නන් අතර WhatsApp යෙදවුම ජනප්‍රිය වීමත් සමග ඒ භාවිත කරන්නන්ගේ දත්ත ව්‍යාපාරික කටයුතු සඳහා භාවිත කිරීමට දැරූ උත්සාහය මැයි මාසය තෙක් ප්‍රමාද කෙරෙන බව නිවේදනයකර ඇත.

Facebook මව් සමාගම විසින් WhatsApp භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත වෙනත් වාණිජ සමාගම්වල අවශයතා වෙනුවෙන් හුවමාරුකර ගැනීමේ ව්‍යාපාරික සැලැසුමක් තිබේ. මේ අනුව, ඩොලර් බිලියන ගණනක් උපයාගත හැකි WhatsApp භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත ජාවාරම්කාර සූදුවකට දැමීමේ Facebook ව්‍යාපෘතිය අතරමග ඇණහිට තිබේ.

2009 පුද්ගල හවුල් සමාගමක් ලෙස ආරම්භ කළ WhatsApp යෙදවුම, පසුව 2014දී ෆේස්බුක් සමාගම විසින් මිලදී ගනු ලැබිණි. ක්‍රමයෙන් ලෝකය පුරා ජනප්‍රිය වීමෙන් පසුව අත්‍යවශ්‍ය සන්නිවේදන යෙදවුමක් ලෙස දැන් එය බාවිතයට ගෙන ඇත. විශේෂයෙන්ම කොරෝනා වසංගතය තුළ පුද්ගල සන්නිවේදනයට අමතරව අධ්‍යාපන කටයුතු සඳහාද භාවිතවීමෙන් මෙම ජනප්‍රියතාව වඩවඩාත් ඉහළ නැගුණි. කෙසේවෙතත් 2020 දෙසැම්බර් මාසයේ WhatsApp භාවිත කරන්නන් වෙත ලබාදුන් නිවේදනයකින් කියැවුනේ Facebook මව් සමාගම විසින් WhatsApp පරිශීලකයන්ගේ දත්ත වෙත ප්‍රවේශවන්නට නියමිත බවයි.

ඒ අනුව, WhatsApp විසින් රහස්‍යතා කොන්දේසි යාවත්කාලීන කරන බවද ඒ යාවත්කාලීන කිරීම පිළිගන්නා අයට පමණක් ඉදිරියේදී WhatsApp යෙදවුම භාවිත කිරීමට හැකිවන පරිදි යෙදවුම නව්‍යකරණය සිදුවන බවත් නිවේදනය කෙරිණි.

WhatsApp හි රහස්‍යතා ප්‍රතිපත්තිය, ලොක ව්‍යාප්ත මට්ටමෙන් අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ 2016 දී ය. එකල එය පරිශීලකයින්ට ෆේස්බුක් සමඟ දත්ත බෙදාගැනීමට අකමැති නම්, ඒ තෝරාගැනීම සිදුකළ හැකි විය. එසේ වුවද 2021 ආරම්භයේදී යෝජිත මෙම නවතම යාවත්කාලීන කිරීමේදී, තවදුරටත් ඊට අකැමැති පරිශිලකයන්ට ඉන් ඉවත්වී සිටීමේ විකල්පය ඉවත් කර ඇත.

යාවත්කාලීන කළ පරිශීලක රහස්‍යතා හා සේවා කොන්දේසි WhatsApp පරිශීලකයන්ට දැනුම් දෙමින් පෙබරවාරි 8 න් පසුව යෙදුම දිගටම භාවිතා කිරීම සඳහා ඒවාට එකඟ විය යුතු බව දන්වා සිටිනු ලැබිණි. WhatsApp හි නව රහස්‍යතා ප්‍රතිපත්තිය පවසන්නේ තමන් විසින් රැස්කරන පරිශීලක තොරතුරු, Facebook මව් සමාගම විසින් ලබාගෙන වෙනත් වාණිජ සමාගම් සමඟ බෙදා ගැනීමට පරිශීලකයන් එකඟ බවයි. මේ අවස්ථාවේදී WhatsApp සිය මව් සමාගම වන Facebook සමඟ බෙදාගන්නා දත්ත පිළිබඳ විශාල ව්‍යාකූලතාවයක් ඇති විය. මෙම ව්‍යාකූලත්වය මෙන්ම පෞද්ගලික දත්ත වෙනත් සමාගම්වලට ලබාදීම සම්බන්ධ ඒකඟ නොවන පරිශිලකයන් විසින් වහාම ‘සිග්නල්’ වැනි තරඟකාරී යෙදවුම් වෙත මාරු වී තිබේ.

මේ ආකාරයට WhatsApp පරිශිලකයන් ඉවත්වයාම අවසානයේ Facebook මව් සමාගමේ ව්‍යාපාරික අරමුණ අනෙක් අතට කැරකීමක් වීමටද ඉඩ ඇත. නිදසුනක් ලෙස ඉන්දියාවේදී WhatsApp පරිශීලකයන් 15%ක් අහිමිවීමට නියමිත බවට සමීක්ෂණ ඇසුරෙන් අනාවැකි පළ විය. මේ අතර ඇතැම් රටවල දත්ත නියාමන ප්‍රතිපත්තිය සමග මෙම සමාගම් ක්‍රියාදාමය ගැටී තිබේ. නිදසුනක් ලෙස ජර්මනිය විසින් එරට WhatsApp පරිශිලකයන්ගේ දත්ත Facebook සමාගම හා හුවමාරු කිරීම තහනම් කර ඇත. ‘දත්ත ආරක්ෂාව සහ තොරතුරු නිදහස පිළිබඳ කොමසාරිස්වරයා’ මෙම නියෝගය සිදුකර ඇත.

විශේෂයෙන්ම රහස්‍යතාව පිළිබඳ නරක ප්‍රගති වාර්තා සහිත Facebook සමාගම සිය පෞද්ගලික දත්ත හුවමාරු කරගැනීම WhatsApp පරිශීලකයන්ට ගැලුවක් විය. මේ තත්වය සමාජ මතයක් ලෙස WhatsApp පරිශීලකයන් අතර ව්‍යාප්ත වූ අතර ඉල්ලා සිටි ආකාරයට යාවත්කාලීන කළ රහස්‍යතා කොන්දේසි අනුමත කිරීමක් දක්නට නොලැබිණි. මෙම තත්වය බැරෑරුම් ලෙස අවධානයට ගත් Facebook සමාගම රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම ප්‍රමාද කරන්නට තීරණයකර ඇත.

නවතම නිවේදනයන් අනුව, WhatsApp හි යාවත්කාලීන කිරීම් මැයි 15 වනදා දක්වා ක්‍රියාත්මක නොවනු ඇත.