தமிழ்
English
Contact
Saturday 26th May 2018    
දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බව පාලකයන්ට මතක් වෙන්නෙ වැඩ වර්ජනයකදි විතරයි - පෙ.ස.ප. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බව පාලකයන්ට මතක් වෙන්නෙ වැඩ වර්ජනයකදි විතරයි – පෙ.ස.ප.



වැඩවර්ජනයක් මතුව තිබෙන අවස්ථාවේදී දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බව ප්‍රකාශ කරන පාලකයන්ට අයවැයෙන් ප්‍රවාහනය සදහා ප්‍රතිපාදන වෙන් කරද්දී එය අත්‍යවශ්‍ය සේවයක් බව කල්පනා නොවූයේ ඇයිදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විමසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අද (11) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධ ප්‍රශ්න කරයි. වසර තුනක් තුළ බිලියන 78 සිට 43 දක්වා ප්‍රවාහනයට ප්‍රතිපාදන කප්පාදු කල පාලකයන් සේවක වැඩ වර්ජනයේදී පමණක් එය අත්‍යවශ්‍ය සේවයක් ලෙස සළකන බව 2017 දෙසැම්බර් 11 දින නිකුත් කළ එම නිවේදනයෙන් පෙ.ස.ප. දේශපාලන මණ්ඩලය පෙන්වා දෙයි.

පහත පළ වන්නේ එකී මාධ්‍ය නිවේදනයයි.

————————————————————————————
“දුම්රිය කම්කරුවන්ට එරෙහි මර්දනය පරදවමු!

සිය වැටුප් විෂමතා වහා විසඳන ලෙස බලකරමින් දුම්රිය සේවයේ ශ්‍රේණීන් ගණනාවකට අයත් කම්කරුවන් විසින් දියත් කර තිබෙන වැඩ වර්ජනයට රාජ්‍ය මර්දනය එල්ල වෙමින් තිබේ. දුම්රිය සමිති විසින් කාලයක් තිස්සේ සිය වැටුප් වැඩි නොවීමේ ප්‍රශ්නය සහ වැටුප් විෂමතා ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වූ අතර ඒ සඳහා බලධාරීන්ගේ ප්‍රතිචාර නොලැබීම නිසා ක්‍රියාමාර්ග වැඩ වර්ජනයක් දක්වා වර්ධනය වී තිබේ. කම්කරු ප්‍රශ්න සම්බන්ධයෙන් ආරම්භක අවස්ථාවේදී විසඳුම් ලබා නොදී ප්‍රශ්න ඔඩු දුවන්නට ඉඩ දෙන රජයේ බලධාරීන් මෙම වර්ජනය නිසා ජනතාවට සිදුවන අපහසුතාවයන්ට වග කිව යුතුය.
එම වගකීම සහිත පාලකයන් වර්ජනය හරහා පොදු ප්‍රවාහන සේවය අඩාල වීම භාවිතා කරමින් වර්ජනයේ නියුතු කම්කරුවන්ට එරෙහිව මර්දනයේ හස්තය දිගු කර තිබේ. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස නම් කිරීම, නියමිත වෙලාවක් තුළ සේවයට වාර්තා නොකරන දුම්රිය කම්කරුවන් සේවය අත්හැර ගියා සේ සලකන බව නිවේදනය කිරීම ආදී තර්ජන දැනටමත් ආණ්ඩුව විසින් එල්ල කරමින් සිටින අතර ඉදිරි දින කිහිපය තුළ එය දැවැන්ත මර්දනයක් වන ලකුණු පෙනෙන්නට තිබේ. දුම්රිය සේවය ඇතුළු පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය මහජන සේවාවක් බව ආණ්ඩුවට පෙනී ඇත්තේ කම්කරුවන් වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කල පසුය. ඊට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලික සමාගමකට විකිණීමේ තීරණ ගන්නා විට හෝ දිගින් දිගටම පොදු ප්‍රවාහනය සඳහා රාජ්‍ය ප්‍රතිපාදන කපා හරින විට ආණ්ඩුව සහ රාජ්‍ය බලධාරීන් හැසිරෙන්නේ එහි අත්‍යවශ්‍යභාවය නොසලකමිනි. දැන් මේ මොහොතේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කරන ආණ්ඩුවේ නායකයන්ගෙන් අපට විමසීමට ඇත්තේ 2015දී රුපියල් බිලියන 78ක්, 2016දී රුපියල් බිලියන 58ක්, 2017දී රුපියල් බිලියන 51ක් ආදී වශයෙන් පොදු ප්‍රවාහනයේ රාජ්‍ය වැය කප්පාදු කරන විටත්, 2018 වසරේ අයවැය මගින් එය රුපියල් බිලියන 43ක් දක්වා තව දුරටත් කපා දමන විටත් එය අත්‍යවශ්‍ය සේවාවක් බව නොසැලකුවේ මන්ද යන්නය. මේවායේ ඇති සමාජමය අත්‍යවශ්‍යතාව භාවිතා කෙරෙන්නේ එම සේවාවන් සඳහා ජනතාවගේ අයිතීන් තහවුරු කිරීමට නොව එම සේවාවන්ගේ නියුතු කම්කරුවන්ගේ වෘත්තීය අයිතීන් අහිමි කිරීමට බව අපි ජනතාවට නැවත වරක් සිහිපත් කරමු.
ආණ්ඩුවට මෙවැනි මර්දනයක් දියත් කළ හැකිව තිබෙන්නේ කම්කරු ව්‍යාපාරය තුළ සමගිය බිඳී ගොස් කම්කරු අරගල තුළ වෘත්තීය සීමා සහ ශ්‍රේණි සීමා පවතින හේතුවෙන් බව අපි කම්කරුවන්ගේ අවධානයට යොමු කරමු. දුම්රිය කම්කරුවන්ගේ පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයේත්, පෞද්ගලික සහ වතු ක්ෂේත්‍ර වල කම්කරුවන්ගේත් වැටුප් කාලයකින් වැඩිවී නොමැති අතර එය වැඩිවන ජීවන වියදමට කිසිසේත් ප්‍රමාණවත් නැත. වැටුප් විෂමතා දුම්රිය සේවයට සීමා නොවූ සමස්ත කම්කරු පන්තියට අදාලව පවතින නොවිසඳුණු ප්‍රශ්නයකි. දුම්රිය සේවය සැලකුවද එය පෞද්ගලීකරණය කිරීමේ සැලසුම් දියත් වීම, ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපාදන කප්පාදු කිරීම, වසර ගණනාවක සේවයෙන් පසුවත් තවමත් ස්ථිර නොකරන ලද විශාල දුම්රිය කම්කරුවන් ප්‍රමාණයක් සිටීම ඇතුළු අර්බුද ගණනාවක් තිබේ. එබැවින් මේ සියලු ප්‍රශ්න වලට අදාළ සංයුක්ත අරගලයකින් තොරව සහ කම්කරු පන්තියේ අනෙකුත් ශ්‍රේණීන් සහ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරගත් අරගලයකින් තොරව මෙම රාජ්‍ය මර්දනයට මුහුණ දිය නොහැකි බැවින් කම්කරු සටන් වල දේශපාලන මට්ටම ඉහල නංවා ගන්නා ලෙස අපි වර්ජනයේ නියුතු දුම්රිය කම්කරුවන්ගෙන්ද ඉල්ලා සිටිමු.
දුම්රිය සේවයේ ප්‍රශ්න වලට කඩිනම් විසඳුම් ලබා දීම වෙනුවට එම සේවය අඩාල වීමට ඉඩ දීම සම්බන්ධයෙන් සහ කම්කරුවන්ගේ අරගල කිරීමේත් සංවිධානය වීමේත් සාමුහිකව කේවල් කිරීමේත් අයිතීන් මර්දනීය ලෙස පොඩි පට්ටම් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පාලකයන්ව තරයේ විවේචනය කරන අපි වර්ජිත කම්කරුවන්ගේ ඉල්ලීම් ලබාදී මෙම ප්‍රශ්නය වහා විසඳන ලෙසද, දුම්රිය සේවය යථා තත්වයට පත් කරන ලෙසද ආණ්ඩුවට බලකර සිටිමු. දුම්රිය කම්කරුවන්ගේ ගැටළු එසේම තිබියදී ඔවුන්ට මර්දනය කැඳවීමට ආණ්ඩුව තැත් කරන්නේ නම් අනෙකුත් ක්ෂේත්‍ර වල කම්කරුවන්ද දුම්රිය මගීන්ද සම්බන්ධ කරමින් අරගලය ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු.“

දේශපාලන මණ්ඩලය – පෙරටුගාමී සමාජවාදී පක්ෂය