Posted on 06.20.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
ගෑස් මෙට්‍රික් ටොන් 280,000ක් මිළදි ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හමුවේ එල්ල කර ඇති චෝදනා සියල්ල අසත්‍ය බවත්, කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ වත්මන් ආර්ථික අර්බුදය හා වත්මන් ගෑස් හිඟය සැලකිල්ලට ගෙන තාවකාලිකව ගෑස් සපයාගැනීම සඳහා O.Q. Trading සමාගම සමඟ ගිවිසුම් ගත වූ බවත් ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
2022- 2023 වසර සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 280,000 ක් ජාත්‍යන්තරයෙන් ගෑස් මිල දී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබුණු අතර, එහිදී සමාගම් තුනක් විසින් මිළ ගණන් ඉදිරිපත් කර ඇත.
Siam Trading ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව – ඇමරිකානු ඩොලර් 96 ($ 96 per Mt)
O.Q. Trading ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව – ඇමරිකානු ඩොලර් 129 ($ 129 per Mt)
B.B. Energy (Asia) LTD ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව – ඇමරිකානු ඩොලර් 148 ($ 148 per Mt)
අමාත්‍යාංශය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් අඩුම මිළ ගණන් ඉදිරිපත් කළ Siam Trading සමාගම අදාළ වර්ෂය සඳහා සැපයුම්කරු ලෙස නම් කර ඇත. කෙසේ වෙතත් ගිවිසුම් ප්‍රකාරව Siam Trading සමාගම සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම ලබාදිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 30ක ණයවර ලිපිය ලබාදීමට ශ්‍රී ලාංකික රජයට නොහැකි වී ඇත.එමෙන්ම Siam Trading සමාගමේ ආර්ථික තත්වය හමුවේ ඔවුන්ට නෞකා ගාස්තු ඇමරිකානු ඩොලර් 112 බැගින් සැපයිය හැක්කේ ගෑස් මෙට්‍රික් ටොන් 6,600ක් පමණක් බවත් දන්වා ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවේ ගෑස් සංචිත ඉතා සීග්‍රයෙන් පහළ බැසීමත්, ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රමාදයත්, Siam Trading සමාගමේ සැපයුමේ ප්‍රමාණයත් යන සියල්ල සලකා බලා මිළ ගණන් කැඳවීමේදී දෙවැනි අඩු මිළ ගණන් සපයා ඇති O.Q. Trading සමාගමෙන් මාස හතරක ගෑස් අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් ලක්ෂයක් නැව් ගාස්තු ඩොලර් 129 බැගින් ලබා ගැනීමට තීරණය කර ඇත.
ඒ අනුව වර්තමාන ගෑස් හිඟය නවතා සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයකට පත් කිරීමට 2022.06.08 දින අමාත්‍ය මණ්ඩලය මගින් තාවකාලික සැපයුම සඳහා O.Q. Trading සමාගම සමග ගිවිසුම් ගත වෙන ලෙසටත්, ශ්‍රී ලංකා රජයට වර්තමානයේදී ඇති මුල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන ක්‍රියා කර හැකි ගිවිසුමකට එළඹීම සඳහා, Siam Trading සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කොට නව ටෙන්ඩරයක් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රකාශ කර ඇත.
වැඩිදුරටත් එහිදී කරුණු දක්වා ඇති ලිට්රෝ සමාගම පවසන්නේ Siam Trading සමාගමේ හා O.Q. Trading සමාගමේ නැව් ගාස්තු අතර පරතරය ඩොලර් 17ක් බවත්, එම මුදල සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රු. 77.50ක වැඩි වීමක් බවත්, පවත්වා අර්බුදකාරී තත්වය හමුවේ එම මුදලට වඩා අඛණ්ඩ ගෑස් සැපයුම ඉතා වැදගත් බැවින් මෙම තීරණය ගත් බවයි.