Posted on 07.20.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 80කට අධික අරමුදල් වියදම් කිරීම ගැන චෝදනා ලැබ සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු චූදිතයන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වන ලෙස සිතාසි නිකුත් කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ ඇතුලු ඔහු යටතේ කටයුතු කළ නිලධාරින් 7 දෙනකුට සැප්තැම්බර් මස 07වැනිදා පෙනී සිටින්නැයි අදාළ පැමිණිල්ල අද(20) කැඳවූ අවස්ථාවේදී සිතාසි නිකුත්කරන්නට නියෝග කර ඇත. අද දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන හා පරීක්ෂණ අවසානයේ එම වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි. එම චෝදනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති නිසා සැකකරුවන් ලෙස නම් කර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන මෙන් ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීම අනුව මහේස්ත්‍රාත්වරයා මෙම සිතාසි නිකුත් කළේය.