தமிழ்
English
Contact
Monday 17th June 2019    
ශක්තික සත්කුමාර දින 78ක් සිරභාරයේ-චෝදනා සනාථ කරන්න පොලිසියෙන් සීඩී 3ක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශක්තික සත්කුමාර දින 78ක් සිරභාරයේ-චෝදනා සනාථ කරන්න පොලිසියෙන් සීඩී 3ක්!



අයුක්ති සහගත ලෙස චෝදනා නගා රිමාන්ඩ් භාරයට පත්කළ ලේඛක ශක්තික සත්කුමාරට දින 78ක් සිරගතව සිටින්නට සිදුව ඇත්තේ නිර්මාණයක් මගින් සිය අදහස් පළ කළ නිසාය.
අප්‍රේල් 1 වැනිදා පොල්ගහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඔහු ඊයේ පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කරනු ලැබුවේ සිව්වැනි වරටය. එහිදී ඔහුට එරෙහිව චෝදනා සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ගොනු කිරීම පිනිස පොලිසිය විසින් තවදුරටත් කල් ඉල්ලීමට අධිකරණය අවසර ලබා දෙමින් ලේඛකයා ජූනි 18 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කෙරිණි. ඒ නියෝගය අනුව ඔහු දින 79ක් අයුක්ති සහගත ලෙස සිය බිරිය, දරුවන් දෙදෙනා සහ සාමාන්‍ය ජීවිතයෙන් ඈත්කර තබා ඇත. මේ දක්වා පොලිසිය කළ බව කියන විමර්ශනවලින් සිදුකර ඇත්තේ ශක්තිකගේ දුරකථන විස්තර සෙවීම සහ ගිනුම් විස්තර සෙවීම වන අතර මාස දෙකක විමර්ශන අවසානයේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේ ශක්තිකම ලියූ කෙටිකතාව ඇතුළත් සිඩි තැටි 3ක් පමණකි.
ඊයේ(4) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේ පොලීසිය වැඩිදු⁣ර වාර්තා ලෙස කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශකළේ විමර්ශන වලින් අනාවරනය කරගත් කරුනු අනුව ශක්තිකගේ චෝදනාවට අදාළ කෙටිකථාව අඩංගු කෙටිකථා සංග්‍රහයේ මෘදු පිටපත් අඩංගු සීඩී තැටි තුනක් නඩුභාන්ඩ ලෙස ඉදිරිපත් කරන බව සහ වැඩිදුර පරීක්ෂණ සඳහා දින තවදුරටත් ලබා දෙන ලෙසත්ය.
එහිදී ලේඛකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සදහා බව කියමින් නඩුව කල් දමමින් මාස දෙකකට අධික කාලයක් තම සේවාදායකයා අයුක්ති සහගත ලෙස සිරගතකොට සිටින බවය. ඒ නිසා මෙම චෝදනා සනාථ කරන්නට කරුණු නැති පොලිසිය මහෙස්ත්‍රාත් අධිකරණය හරහා අනියත කාලයක් ඔහු සිරකොට තබා ගැනීම සඳහා නි⁣යෝග ලබා ගන්නා බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගන්නා අයකු සිරඅඩස්සියේ තබා ගැනීමේ අරමුණින්ම වැඩිදුර විමර්ශන සඳහා කාලය ඉල්ලමින් හුදෙක් නඩුව දිග්ගැස්සීමට පොලීසියට නොහැකි බව ඔහු එහිදී ප්‍රකාශ කළේය. එසේම මේ වනවිට පොලීසිය මෙම නඩුවට අදාල බව කියමින් ලේඛකයාට එරෙහිව නගා ඇති චෝදනාවලට කිසිසේත් අදාල නැති පුද්ගලයන්ගෙන් පවා කට උත්තර ගැනීමට උත්සාහ දරමින් සිටින බව නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වීය. පූර්වාදර්ශ සහිත නඩුතීන්දුවලින් උපුටා දක්වමින් නීතිඥවරයා අවධාරනය කර සිටියේ පොලීසිය වැඩිදුර වාර්තා ගොනුකරන විට විනිසුරුවරයකු ලෙස විසින් හුදෙක් යාන්ත්‍රික ලෙස නියෝග නිකුත් නොකළ යුතු බවත්, විනිශ්චය සදහා විවෘත මනස භාවිතා කරමින් සුදුසු නියෝග නිකුත් කළ යුතු බවයි. ශක්තික සත්කුමාරට එරෙහිව චෝදනා සනාථ කරන්නට මේ දක්වා ඉදිරිපත් කොට ඇති කරුනු අනුව, චෝදනා ගොනුකළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ වරදක් කළ බවට කිසිදු සාක්ෂියක් තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත්ව කරන්නට පොලිසිය අසමත්ව ඇති බව නීතිඥවරයාගේ කරුණු දැක්වීමේදී අනාවරණය විය. ඒ නිසා එම චෝදනාව ඉවත් කොට දන්ඩනීති සංග්‍රහයේ 291ආ යටතේ දැනටත් මෙම අධිකරණයට ඇපලබාදීම සිදුකළ හැකි බව පෙන්වා දුන් ලේඛකයා එලෙස ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ දැනටමත් ඇප ප්‍රතික්ෂේප කරමින් අධිකරණය තීන්දුවක් දී ඇති බවය. එසේම අදාළ චෝදනාවට සම්බන්ධ නඩුවකදී චූදිතයන්ට ඇප ලබාදෙන්නට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවද පවසන ලදී.
සියලු කරුනු දැක්වීම් අවසානයේ පොල්ගහවෙල පොලීසියේ ඉල්ලීම්වලට ඉඩ ලබාදුන් මහේස්ත්‍රාත්වරිය, නඩුව ජුනි මස 18 වන දින තෙක් කල්තබමින් ලේඛක සත්කුමාර එතෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය.
ශක්තික සත්කුමාර වෙනුවෙන් නීතිඥ සංජය විල්සන් ජයසෙකර සමඟ, බුද්ධදේව ගුණරත්න, සී.ඩබ්.ඩබ්. රත්නායක සහ ජයන්ත දෙහිඅත්තගේ යන නීතිඥවරු පෙනීසිටියහ.