தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
ජාත්‍යන්තර කාන්තා දිනය - 'සටන්කාමීන්ගේ දිනයක් !' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාත්‍යන්තර කාන්තා දිනය – ‘සටන්කාමීන්ගේ දිනයක් !’



[col type=”one-third”]

[/col]

[col type=”two-third last”]

1899 දී 27 හැවිරිදි මවක් ලෙස රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයට සම්බන්ධ වූ ඇලෙක්සැන්ඩ‍්‍රා කොලොන්තායි, කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කළ සමාජවාදී ක‍්‍රියාකාරීනියකි. 1903 සමුලූවේ පක්ෂ ඛණ්ඩනයේදී පළමුව පාර්ශ්වයක් නොගෙන කටයුතු කළාය. පසුව වසර කිහිපයක් මෙන්ෂෙවික් පාර්ශ්වයට සම්බන්ධව කටයුතු කළාය. 1915 දී  මෙන්ෂෙවිකයන්ගෙන් වෙන්ව බොල්ෂෙවික් පාර්ශ්වයට එක් වූ ඇය මධ්‍යම කමිටුවේ එකම සාමාජිකාව වූවාය. සෝවියට් ජනරජයේ සුබසාධන කොමිසාර්වරිය (ඇමති ධුරය) ලෙස වගකීම ඉසිලූ ඇය බොල්ෂෙවික් පක්ෂයේ කාන්තා අංශ නායිකාව ලෙසද කටයුතු කළාය.
කොලොන්තායි විසින් 1920 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කළ කතාව අද වසර 98කට පසුවද අපගේ අවධානයට ගැනීම අධ්‍යාපනික වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන් ප‍්‍රයෝජනවත් වනු ඇත.

[/col]

 


සටන්කාමීත්වයේ දිනයක්

ස්ත‍්‍රී දිනය, එහෙමත් නැත්නම් වැඩරන කාන්තාවන්ගේ දිනය කියන්නෙ ජාත්‍යන්තර සහයෝගිතාවයේ සහ නිර්ධන පන්තික කාන්තාවන්ගේ ශක්තිය හා සංවිධානාත්මක බලය පෙන්වන අවස්ථාවක්.
නමුත් මේක කාන්තාවන්ට පමණක් විශේෂ දිනයක් නෙවෙයි. මාර්තු 8 කියන්නෙ කම්කරුවන්ට හා ගොවීන්ටත් විශේෂයෙන් රුසියානු කම්කරුවන්ට හා මුලූ ලෝකයේම කම්කරුවන්ට ඓතිහාසික හා සැමරිය යුතු අවස්ථාවක්. 1917 මේ දවසෙදි පෙබරවාරි විප්ලවය(i) ආරම්භ වුණා. පීටර්ස්බර්ග් වැඩ කරන කාන්තාවන් තමයි එහි මූලිකත්වය ගත්තෙ. සාර්ට සහ සාර්ගෙ අනුගාමිකයන්ට එරෙහි සටන් පාඨ ඔසවන්න එදා තීරණය කළේ ඔවුන්. ඒ නිසා වැඩකරන කාන්තාවන්ගේ දිනය අපට දෙවිදියකින් වැදගත්වන උත්සවකාරී අවස්ථාවක්.

නමුත් මේක නිර්ධනයන්ගෙ නිවාඩු දිනයක් නම් ඇයි අපි ඒකට ‘කාන්තා දිනය’ කියන්නෙ? ඇයි අපි වැඩකරන ස්ත‍්‍රීන් හා ගොවි ස්ත‍්‍රීන් සම්බන්ධ කරගත් රැුස්වීම් හා සැමරුම් උත්සව සංවිධානය කරන්නෙ? එයින් වැඩකරන පන්තියේ සමගිය හා සහයෝගිතාව අවුල් කරන්නෙ නැද්ද? මේ කාරණාවලට උත්තර හොයාගන්න නම් අපට ආපසු හැරිලා බලන්න වෙනවා සත‍්‍රී දිනයක් ආරම්භ වුණු සහ එහි අරමුණු සම්බන්ධව.

ස්ත‍්‍රී දිනයක් සංවිධානය වූයේ කවදා, කොහොමද?
වැඩි කාලයක් නෙවෙයි, ඇත්තටම අවුරුදු 10කට පෙර ස්ත‍්‍රීන්ට සමානාත්මතාවය සහ ආණ්ඩුකරණයෙදි ඇය පුරුෂයන් සමග කරට කර ක‍්‍රියාත්මක විය හැකිද යන්න විවාදයට භාජනය වුණා. සියලූම ධනපති රාජ්‍යයන්ගෙ නිර්ධන පන්තිකයන් ස්ත‍්‍රීන්ගෙ අයිතින් ගැන අරගල කළත් ධනපති පන්තියට ඒ අයිතිය දෙන්න උවමනාවක් තිබුනෙ නෑ. වැඩකරන කාන්තාවන්ගෙ අයිතින් වෙනුවෙන් නීති සම්මත කරන එකට පවා ඔවුන් බාධා කළා.
උතුරු අමෙරිකාවේ සමාජවාදීහු මෙම නිශ්චිත අයිතිවාසිකම් වෙනුවෙන් සිය අවධාරනය ප‍්‍රකාශ කළහ. 1909 පෙබරවාරි 28 වැනිදා එක්සත් ජනපද සමාජවාදී කාන්තාවෝ වැඩකරන ස්ත‍්‍රීන්ගේ දේශපාලන අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ දැවැන්ත විරෝධතා සහ රැුලි රට පුරා සංවිධානය කළහ. පළමු කාන්තා දිනය මෙයයි. ඒ නිසා ස්ත‍්‍රීන්ගේ දිනයක් සංවිධානය කිරීමේ සමාරම්භක අයිතිය හිමිවන්නේ අමෙරිකානු කාන්තාවන්ටය.
1910 ලෝකයේ වැඩකරන ස්ත‍්‍රීන්ගේ දෙවැනි ජාත්‍යන්තර සමුලූවේදී ජාත්‍යන්තර වැඩකරන කන්තාවන්ගේ දිනයක් සංවිධානය කිරීම පිළිබද අදහස ඉදිරිපත් කළේ ක්ලාරා සෙට්කින්(ii) සහෝදරිය විසිනි. ඒ අනුව, එම සමුලූව විසින් වාර්ෂිකව එකම දිනයක සියලූම රටවල කාන්තාවන් සඳහා ස්ත‍්‍රී දිනයක් පැවැත්වීමටද එහි තේමා සටන්පාඨය ලෙස ‘සමාජවාදය උදෙසා අපගේ අරගලයේ ශක්තිය ඒකරාශි කරනු පිණිස කාන්තාවන්ට ඡුන්ද බලය !’ යන්න යොදාගැනීමටද ඔවුන් තීරණය කළා.
පසුගිය වසරවලදී පාර්ලිමේන්තුව වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කිරීමේ ප‍්‍රශ්නයේදී ඡන්ද බලය වඩාත් පුලූල් කිරීම සහ කාන්තාවන්ට ඡන්ද බලය ලබාදීම ප‍්‍රමුඛ කාරණයක් බවට පත් වුණා. පළමුවන ලෝක යුද්ධයට පෙර සිටම රුසියාව හැර ලෝකයේ වෙනත් ධනපති රාජ්‍යයන් තුළ කම්කරුවන්ට ඡන්ද බලය හිමි වී තිබුණා.(iii) උමතු රෝගීන්ට සහ කාන්තාවන්ට පමණක් එම අයිතිය හිමි වුණේ නෑ. නමුත් ඒ අතරම ධනවාදයේ රුදුරු යථාර්ථය විසින් රටක ආර්ථිකයට කාන්තාවන්ගේ ශ‍්‍රම දායකත්වය ඉල්ලා සිටිනු ලැබුවා. සෑම අවුරුද්දකම කම්හල්වල හා වැඩපළවල වගේම මෙහෙකාරියන් ලෙස හා සනීපාරක්ෂක සේවයේ යෙදෙන කාන්තාවන් ගණන ඉහළ ගියා. ස්ත‍්‍රීන් පිරිමින් සමග එක්ව වැඩ කළ අතර ජාතික ධනය බිහිවූයේ ඔවුන්ගේ ශ‍්‍රම දායකත්වයෙනි. එසේ වුවද ඒ වනවිටත් කාන්තාවන් පසුවූයේ ඡුන්ද බලය අහිමිවය.
එහෙත් යුද්ධයට පෙර වසර කිහිපය තුළ බඩුමිල ඉහළයාම විසින් වඩා සාමකාමී ගෘහණිය පවා ප‍්‍රතිපත්තිමය කාරණා අවධානයට ගනිමින් කොල්ලකාරී ධනවාදී ආර්ථිකයට එරෙහිව හඬ නගමින් අරගලයට එක් කරවීය. ඔස්ටි‍්‍රයාව, ප‍්‍රංශය, එංගලන්තය හා ජර්මනිය තුළ විවිධ කාලවල ගිනිදල්වමින් ‘ගෘහණියන්ගේ නැගිටීම්’ නිරන්තරව මතු විය.
කඩහිමියන්ට තර්ජනය කිරීම හා වෙළෙඳසැල්වලට කඩාවැදීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව වැඩ කරන කාන්තාවන් තේරුම් ගත්තා. එවැනි ක‍්‍රියාමාර්ගවලින් ජීවන වියදම පහත දැමිය නොහැකි බව ඔවුන්ට තෙරුම් ගියා. ඒ සඳහා ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති වෙනස් කළ යුතුයි. ඉතින් ඒ සඳහා ඡුන්ද අයිතිය පුලූල් කිරීම, වැඩකරන පන්තියේ ඉලක්කයක් බවට පත් වුණා.
ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය වැඩකරන කාන්තාවන් සඳහා දිනාගැනීමේ අරගලයේ ආකෘතියක් හැටියට සෑම රටකම කාන්තා දිනය පැවැත්වීමට තීරණය කෙරුණා. මෙම දිනය, පොදු අරමුණු උදෙසා අරගල කරන ජාත්‍යන්තර සහයෝගිතාවයේ දිනයක් වගේම සමාජවාදයේ ධජය යටතේ වැඩකරන කාන්තාවන්ගේ සංවිධානාත්මක ශක්තිය උරගා බලන දිනයක් බවට පත් වුණා.

සමාරම්භක ජාත්‍යන්තර කාන්තා දිනය
සමාජවාදී කාන්තාවන්ගේ දෙවැනි ජාත්‍යන්තර සමුලූවේ තීරණය කඩදාසියට පමණක් සීමා වුණේ නෑ. ආරම්භක ජාත්‍යන්තර කාන්තා දිනය 1911 මාර්තු 19 යොදාගන්න තීරණය කෙරුණා.
මේ දිනය අහඹු ලෙස තෝරාගත්තක් නෙවෙයි. ජර්මන් නිර්ධනයන් විසින් ඒ දිනය තොරාගත්තේ ඔවුන්ට එහි ඓතිහාසික වැදගත්කමක් තිබුණු නිසයි. 1848 විප්ලව වර්ෂයෙදි ප‍්‍රසියානු රජු ළමු වතාවට වැඩකරන ජනතාවගේ සන්නද්ධ බලයේ ශක්තිය වටහා ගත්තා. නිර්ධන පාන්තික නැගිටීමක් වළක්වන්න පියවර ගන්න ඔහුට සිදු වුණා. ඒ සඳහා 1848 මාර්තු 19 වැනිදා ඔහු විසින් ලබා දුන් එහෙත්, පසුව කඩ කළ පොරොන්දු අතර කාන්තාවන්ට ඡුන්ද අයිතිය ලබාදීමත් තිබුණා.
1911 ජනවාරියෙන් පසුව කාන්තා දිනය වෙනුවෙන් ජර්මනියේ සහ ඔස්ටි‍්‍රයාවේ සූදානම් කිරිම් ආරම්භ වුණා. ඔවුන් කටින් හා මුද්‍රිත මාධ්‍යයෙන් යන දෙආකාරයෙන්ම විරෝධතාවයක සැලසුම් ගැන ප‍්‍රචාරක කටයුතු කළා. කාන්තා දිනයට සතියකට පෙර ජර්මනියෙදි ‘කාන්තාවන්ට ඡුන්දය’ සහ ඔස්ටි‍්‍රයාවෙදි ‘කාන්තා දිනය’ නමින් ප‍්‍රකාශන දෙකක් පළ කරණු ලැබුවා. ඒවා තුළ කාන්තා දිනය සම්බන්ධයෙන් ලිපි ගණනාවක් පළ වුණා. ‘කාන්තාව සහ පාර්ලිමේන්තුව’, ‘වැඩකරන කාන්තාව සහ නගර සභාවේ කටයුතු’, ‘ගෘහණියන්ට දේශපාලනය අදාළද?’, වැනි ලිපි තුළින් සමාජය තුළ මෙන්ම ආණ්ඩුකරණයේදී ස්ත‍්‍රියගේ සමානත්වය සම්බන්ධ ප‍්‍රශ්නය සාකච්ඡාවට ගෙන තිබුණා. සියලූම ලිපිවලින් අවධාරණයට ලක් වූ එක් කාරණයක් තිබුණා. එනම්, කාන්තාවන්ට ඡුන්ද අයිතිය ලබාදීම තුළින් පාර්ලිමේන්තුව වඩා ප‍්‍රජාතන්ත‍්‍රීකරණය කිරීම අත්‍යවශ්‍ය බවයි.
1911 වසරෙදි ආරම්භක ජාත්‍යන්තර කාන්තා දිනය පැවැත්වුණා. එහි සාර්ථකත්වය නිසා සියලූ අපේක්ෂා දල්වනු ලැබුවා. වැඩකරන කාන්තා දිනයෙදි ජර්මනිය සහ ඔස්ටි‍්‍රයාව තුළ කෝපාන්විත හා ගුගුරා යන කාන්තාවන් සාගරයක් ඒකරාශි වුණා. සෑම තැනකම රැුස්වීම් සංවිධානය කෙරුණා. පුංචි නගරවල සහ ගම්වල පවා ශාලා පිරී ඉතිරී යන කාන්තා සහභාගිත්වය නිසා වැඩකරන පිරිමින්ට ඒවා භාර දී පිටව යන්න සිදුවී තිබුණා.
නිශ්චිතවම ඒ තමයි වැඩකරන කාන්තාවන්ගෙ සටන්කාමිත්වය ප‍්‍රදර්ශණය කළ පළමු අවස්ථාව. පිරිමි වෙනසක් සඳහා දරුවන් බලාගෙන නිවසට වී සිටියා. ඔවුන්ගේ බිරියන්, ග‍්‍රහණයේ සිටි ගෘහණියන් රැුස්වීම්වලට සහභාගි වෙන්න නිවසින් පිටව ගියා. විශාලතම විරෝධතා පෙළපාලියකදි පොලිසිය ඔවුන් ගෙන ගිය සටන්පාඨ බැනර් ඉවත් කරන්න සූදනම් වූ අවස්ථාවෙ කාන්තාවො අධිෂ්ඨානයෙන් නතර වුණා. විශාල ලේ වැගිරිමක් වළක්වන්න හැකි වුණේ සමාජවාදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙ මැදිහත්වීම නිසයි.
1913දි ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 8 ලෙස වෙනස් කරනු ලැබුවා. එයින් පසුව වැඩකරන කාන්තාවන්ගේ සටන්කාමිත්වයේ දිනය ලෙස එය දිගටම පැවතුණා.

කාන්තා දිනයක් අවශ්‍යද?
අමෙරිකාවෙ හා යුරෝපයෙ කාන්තා දිනය නිසා විස්මයජනක ප‍්‍රතිඵල ඇති වුණා. කිසිම ධනපති පාර්ලිමේන්තුවකට වැඩකරන ජනතාවට සහන ලබා දෙන්න හෝ කාන්තාවන්ගෙ ඉල්ලීම් ලබාදෙන්න සූදානමක් නොතිබුණු බව ඇත්ත. මොකද, ඒ වෙනකොට ධනපතියන්ට සමාජවාදී විප්ලවයෙ අනතුරක් දැනිලා තිබුණෙ නෑ.
නමුත් කාන්තා දිනයෙන් ලබාගත් ජයග‍්‍රහණ තිබුණා. වෙන කිසිම දේකට වඩා එය, දේශපාලනික වශයෙන් ඈත්ව සිටින අපේ නිර්ධන සහෝදරියන් ඒකරාශි කරන විශිෂ්ට ක‍්‍රමයක් බවට පත් වුණා. කාන්තා දිනය වෙනුවෙන් පැවැත්වුණු රැුස්වීම්, විරෝධතා සහ පළ කෙරුණු පෝස්ටර්, පත‍්‍රිකා සහ පත්තර ගැන ඔවුන්ගෙ අවධානය යොමු වුණා. දේශපාලනිකව වඩා පසුගාමී කාන්තාවන් පවා ‘මේක අපේ දිනය, වැඩකරන කාන්තාවන්ගෙ උත්සවයක්’ කියලා තමන්ටම කියා ගත්තා. ඔවුන් රැස්වීම්වලටත් පෙළපාලිවලටත් සහභාගි වුණා. සෑම කාන්තා දිනයක්ම අවසානයේ කාන්තාවන් සමාජවාදී පක්ෂයට එකතු වුණා, වෘත්තිය සංවිධාන සාමාජිකත්වය වැඩි වුණා. සංවිධාන ශක්තිමත් වෙමින් දේශපාලන සවිඥානකත්වය වර්ධනය වුණා.
කාන්තා දිනය නිසා තවත් දෙයක් සිදු වුණා. ඒ නිසා වැඩකරන ජනතාවගේ ජාතයන්තර සහයෝගිතාවය ශක්තිමත් වුණා. විවිධ රටවල පක්ෂ මේ දිනය වෙනුවෙන් කථිකයන් හුවමාරු කරගත්තා. ජර්මන් සහෝදරවරු එංගලන්තයට, එංගලන්තයෙ සහෝදරවරු ඕලන්දයට, ඒ වගේ ගියා. වැඩකරන ජනතාවගේ ජාත්‍යන්තර ඒකමිතිය ශක්තිමත් වුණා, ස්ථාවර වුණා. එහි තේරුම, සමස්තයක් ලෙස නිර්ධනයන්ගෙ සටන් ශක්තිය වර්ධනය වූ බවයි.
කාන්තා දින සටන්කාමිත්වයෙන්ද ප‍්‍රතිඵල ලැබුණා. කාන්තා දිනයෙ සටන්කාමී ක‍්‍රියාකාරිත්වය නිසා නිර්ධන කාන්තාවන් අතර සවිඥානකත්වය හා සංවිධානාත්මක බව වර්ධනය කරවිය හැකි වුණා. ඒ නිසා වැඩකරන ජනතාවට වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් ගෙන යන අරගලයේ සාර්ථකත්වයට කාන්තා දිනයෙ දායකත්වය අත්‍යවශ්‍ය වෙනවා.

රුසියානු වැඩකරන කාන්තාවන්ගේ දිනය
රුසියානු වැඩ කරන කාන්තාව මුල්ම වතාවට වැඩකරන කාන්තා දිනයකට සහභාගි වුණේ 1913දි. ඒ, සාර්වාදය විසින් කම්කරුවන් හා ගොවින් තම ග‍්‍රහණයට නතුකරගෙන සිටි ප‍්‍රතිගාමිත්වයේ කාලසීමාවක්. කාන්තා දිනයක් විවෘත ආකාරයෙන් පවත්වන්න හැකියාවක් තිබුණෙ නෑ. නමුත් සංවිධානය වූ වැඩ කරන කාන්තාවන් ඒ දිනය විවිධ ආකාරයෙන් සැමරුවා. නීත්‍යනුකූල පුවත්පත් ලෙස, බොල්ෂෙවිකයන්ගෙ ‘ප‍්‍රව්දා’ සහ මෙන්ෂෙවිකයන්ගේ ‘ලූච්‘ ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳ ලිපි පළ කළා.(iv) ඒ වගේම ලෝකයේ වෙනත් රටවල වැඩ කරන කාන්තා ව්‍යාපාරවල ජාත්‍යන්තර කාන්තා දින කටයුතුවලට සහභාගි වෙමින් සපයන ලද විශේෂ ලිපි සහ බෙබෙල්, සෙට්කින් වැනි සහෝදර සහෝදරියන්ගෙ සුභපැතුම් පණිවිඩ පළ කරණු ලැබුවා.(v)
මේ අඳුරු වසරවලදි රැුස්වීම් තහනම් කර තිබුණා. එහෙත් පක්ෂයේ කම්කරු සහෝදරියන් විසින් පෙට්‍රොග‍්‍රෑඞ් නගරයේ කලෂෙකොව්ස්කි හිදී ‘කාන්තාවන්ගේ ප‍්‍රශ්නය‘ තේමාවෙන් සංවාදයක් සංවිධානය කර තිබුණා. අතුළුවීමේ ගාස්තුව ලෙස කොපෙක් 5ක් අයකරනු ලැබුවා. ඒක නීති විරෝධී රැුස්වීමක් වුණත් ශාලාව පිරී ඉතිරෙන්න සහභාගිත්වයක් තිබුණා. පක්ෂයේ සහෝදර සහෝදරියන් කතා පැවැත්වුවා. මේ නිසා ඒ සජීවී රහසිගත රැස්වීම්වලටත් පොලිසිය කඩා පැනලා කථිකයන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගන්නා තත්වයක් ඇති වුණා.
ලෝකයේ වැඩ කරන ජනතාවට ජාත්‍යන්තර කාන්තා දිනය නිසා ක‍්‍රියාකාරීත්වය නිසා වැදගත්කමක් ඇතිකළා මෙන්ම සාර්වාදයේ මර්දනයට ලක්ව සිටින රුසියානු කාන්තාවන්ට එය වැදගත් සහිත ක‍්‍රියාකාරිත්වයක් සහිත දිනයක් බවට පත් වුණා. ඒ වගේම මේ ආකාරයේ සක‍්‍රියභාවයක් ඇතිවීමෙන් රුසියාව අවදි වෙමින් සිටින බවත් තවදුරටත් ඔවුන් සතු අරගලකාරිත්වය සහ විරෝධය මරා දමන්නට සාර්වාදී සිරගෙය සහ වහල්භාවය අසමත් බවත් පෙන්වමින් තිබුණා.
1914 රුසියාවෙ පැවැත්වූ වැඩකරන කාන්තාවන්ගෙ දිනය වඩාත් සංවිධානාත්මක එකක් වුණා. වැඩකරන ජනයාගේ පුවත්පත් දෙකම ඒ දිනය වෙනුවෙන් අවධානය යොමුකර තිබුණා. අපේ සහෝදරියො, සහෝදරවරු, ‘වැඩකරන කාන්තාවන්ගෙ දිනය’ සංවිධානය කිරීමට විශාල වෙහෙසක් දැරුවා. පොලිසියේ මැදිහත්වීම් නිසා ඔවුන්ට ඒ දිනය වෙනුවෙන් විරෝධතා සංවිධානය කරන්න හැකි වුණේ නෑ. සංවිධාන කටයුතු කළ අය බොහෝ දෙනා සාර් පාලනය විසින් සිරගත කරනු ලැබුවා. ඉන්පස්සෙ ඔවුන් ශිතාධික උතුර කරා පිටුවහල් කරනු ලැබුවා. රුසියාවෙදි, ‘වැඩ කරන කාන්තාවන්ට ඡුන්ද අයිතිය’ වෙනුවෙන් වූ සටන් පාඨය නිරායාසයෙන්ම සාර්වාදී අත්තනෝමතිකභාවය පෙරළා දැමීමේ විවෘත සටන්පාඨයක් බවට පත් වුණා.

අධිරාජ්‍යවාදී යුද කාලසීමාවේ වැඩකරන කාන්තාවන්ගේ දිනය
පළවෙනි ලෝක යුද්ධය ආරම්භ වුණා. සෑම රටකම වැඩකර ජනයා ඒ යුද්ධයේදි ගැලූ ලේ ගංගාවල ගිලී ගියා.(vi) වෙනත් රටවලදි 1915 සහ 1916 වැඩකරන කාන්තාවන්ගෙ දිනය පවත්වනු ලැබුවෙ දුර්වල ආකාරයෙන්. රුසියානු බොල්ෂෙවික් පක්ෂයේ අදහස් හා එකග වුණු වාම සමාජවාදී කාන්තාවන් වැඩකරන කාන්තාවන් විසින් මාර්තු 8 වැඩකරන කාන්තාවන්ගෙ යුද විරෝධය කුලූ ගන්වන දිනයක් පවට පත් කරන්න උත්සාහ ගත්තා. නමුත් ජර්මනියෙ සහ වෙනත් රටවල සමාජවාදී පක්ෂවල පාවාදෙන්නන් සහ යුද්ධයට පක්ෂපාති ආණ්ඩු විසින් ඒ රටවල සමාජවාදී ස්ථාවරයන් දැරූ සහෝදරියන්ට රැස්වීම් සංවිධානය කිරීමේ අවස්ථා අහිමි කළා. එපමණක් නොවේ, වෙනත් මධ්‍යස්ථ රටවල වැඩකරන කාන්තාවන් විසින් ධනපති අභිලාෂයන් හමුවේද නිර්ධනයන්ගෙ ජාත්‍යන්තර සහයෝගිතාවය සජීවීව පවතින බව සංකේතවත් කරමින් සංවිධානය කෙරුණු වැඩකරන කාන්තා දින සැමරුම්වලට සහභාගිවීමට සහෝදරියන්ට ගමන් බලපත‍්‍ර ගැනීමත් වළක්වා තිබුණා.
1915දි කාන්තාවන්ගෙ දිනය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රියාකාරිත්වයක් සංවිධානය කරන්න හැකි වුණේ නෝර්වේදි පමණයි. රුසියානු සහ මධ්‍යස්ථ රටවල නියෝජිතයන් ඊට සහභාගි වුණා. රුසියාවෙදි සාර් පාලනය හා යුද යාන්ත‍්‍රනය නිසා කිසිදු සංවිධාන කටයුත්තක් කරන්න ඉඩ ලැබුණෙ නෑ.
ඉන්පසුව ශ්‍රේෂ්ඨ අවුරුද්ද, 1917 එළඹුණා. සාගින්න, ශීතල සහ යුද්ධාධිකරණ නිසා රුසියානු කම්කරු කාන්තාවන්ගෙත් ගොවි කාන්තාවන්ගෙත් ඉවසීම බිඳ දමනු ලැබුවා. මාර්තු 8 වැනිදා (පැරණි කැලැන්ඩරයෙ පෙබරවාරි 23) ඔවුන් දක්ෂ ලෙස පීටර්ස්බර්ග් වීදිවල එක් රැුස්වුණා. සමහරු කම්කරු කාන්තාවො, තවත් අය සොල්දාදුවන්ගෙග බිරියන්. ‘අපේ දරුවන්ට පාන් දියව්’ සහ ‘අපේ සැමියන් යුද අගල්වලින් ගෙන්වා දියව්’ යනුවෙන් ඔවුන් සටන් පාඨ කිව්වා. මහා ජන ගඟක් එකතු වෙලා සිටි ඒ අවස්ථාවෙදි සාර්ගෙ හමුදාව පවා සාමාන්‍ය මර්දන ක‍්‍රම භාවිතා නොකරන තරමට වික්ෂිප්ත වුණා.

{මෙතැන් සිට සටන් සඳහා අපගේ කැඳවීම යන මාතෘකාවෙන් කොලොන්තායි අවධානය යොමුකරන්නේ එවකට සෝවියට් රාජය මුහුණ දී තුබුණු තත්වය පිළිබද අවධානය යොමු කිරීමටය. එම කොටස මෙම ලිපියට අත්‍යවශ්‍ය නොවන බැවින් පසු සටහනක් ලෙස එකතු කර ඇත.}

වැඩ කරන කාන්තා දිනයේ නව කාර්යභාරයන්
ඔක්තෝබර් විප්ලවයෙන් කාන්තාවන්ට සිවිල් අයිතිවාසිකම් පැත්තෙන් පිරිමින් හා සමානාත්මතාවයක් ඇති කළේය. රුසියානු නිර්ධන කාන්තාවන් වඩාත් අවාසනාවන්ත සහ වඩාත් පීඩිත තත්වයක සිටියේ වැඩි ඈත කාලයක නොවේ. සෝවියට් ජනරජයේදී නිර්ධන පන්තික ආඥාදායකත්වය පිහිටුවීමෙන් ඔවුන් වෙනත් රටවල සිය සහෝදරියන්ට වඩා අභිමානයක් සහිතව දේශපාලන සමානාත්මතාවය හිමිකරගෙන තිබෙනවා.
ධනපති රටවලදී කාන්තාවන්ගේ තත්වය බොහෝ වෙනස් වන්නේ වැඩියෙන් වැඩ ගැනීමෙන් සහ අඩු වරප‍්‍රසාද සහිතව ජීවත්වීමට සිදුවී තිබීම නිසයි. එවැනි රටවල වැඩකරන කාන්තාවගේ හඩ දුර්වලව සජීවි බවින් තොර වී ඇත. නෝරවේ, ඔසටේ‍්‍රලියා, ෆින්ලන්තය සහ උතුරු අමෙරිකාවේ ඇතැම් ප‍්‍රාන්තවල කාන්තාවෝ පළමුවැනි ලෝක යුද්ධයට පෙර සිවිල් අයිතිවාසිකම් දිනා ගැනීමට සමත් වූහ.(ix) ජර්මනියේදී කයිසර් රජු නෙරපා හැරීමෙන් පසුව ‘සමාදානකයන්ගේ‘(x) මූලිකත්වයෙන් ධනේශ්වර රාජ්‍යයක් පිහිටුවනු ලැබුවා. කාන්තාවන් 36ක් පාර්ලිමේන්තුවට ගියත් ඔවුන් අතර එක කොමියුනිස්වාදිනියක්වත් සිටියේ නෑ. 1919දි පළමුවරට එංගලන්තයේ පාර්ලිමේන්තුවට ‘ආර්යාවක්’, ඉඩම් හිමි ප‍්‍රභූවරියක් තේරී පත් වුණා.(xi) ප‍්‍රංශයේදිත් කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධ ප‍්‍රශ්නය සාකච්ඡුාවෙමින් පවතිනවා.
නමුත් ධනේශ්වර පාර්ලිමේන්තුවකදි මේ අයිතිය කාන්තාවන්ට හිමිවීමෙන් ඇති ප‍්‍රයෝජනයක් තියෙනවද? බලය, ධනපතියන්, දේපළ හිමියන් අත තිබෙනවිට නිවස තුළ මෙන්ම සමාජයේ කාන්තාවට උරුම කරදී ඇති වහල්භාවයෙන් ඇය මුදන්නට සමත් දේශපාලන අයිතියක් හිමි වෙන්නේ නෑ. නිර්ධනයන් අතර බොල්ෂෙවික් අදහස් ව්‍යාප්ත වෙමින් තිබියදී වැඩකරන පන්තියට දිගුකරන සොච්චම් සහනයක් ලෙස කාන්තාවන්ගේ ඡුන්ද අයිතිය පිළිගන්න ප‍්‍රංශ ධනපතියන් සූදානම් වෙනවා.(xii)

ධනපති මහත්වරුනි, දැන් ප‍්‍රමාද වැඩියි !
රුසියානු ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීමෙන් පස්සෙ ප‍්‍රංශයේ, එංගලන්තයේ හෝ වෙනත් රටවල කාන්තාවන්ට පැහැදිලි වූ කාරණාව නම් පූර්ණ සාමානාත්මතාවය සහතික කරන්නේ නිර්ධන පන්තික ආඥාදායකත්වය සහ සෝවියට් බලය පමණයි. මර්දනය හා අයිතිවාසිකම් අහිමි කළ සියවස් ගණනක විලංගු බිඳ දමනු ඇත්තේ කොමියුනිස්ට්වාදයේ අවසන් ජයග‍්‍රහණයෙන් පමණකි. ධනපති පාර්ලිමේන්තුවේ ‘උත්තරීතර බලය’ තුළ ජාත්‍යන්තර වැඩකරන කාන්තා දිනයේ කාර්යභාරය වුණේ කාන්තාවන්ගේ ඡුන්ද අයිතිය සඳහා අරගලය ඉදිරියට ගෙන යාමයි. නමුත් දැන් වැඩකරන පන්තියට නව කාර්යභාරයක් පැවරී තිබෙනවා. තවදුරටත් ධනපති පාර්ලිමේන්තුව තුළ ඒ කාර්යභාරය සීමා වෙන්නෙ නෑ. වැඩකරන කාන්තාවන් තුන්වන ජාත්‍යන්තරයෙ සටන්පාඨ වටා ඒකරාශි කරමින් සටන්වැදීම ඒ නව කාර්යභාරයයි. රුසියාවෙන් ඇසෙන මේ හඩට සවන් දෙන්න.
‘සියලූම රටවල වැඩ කරන කාන්තාවනි, ලෝකය කොල්ලකෑමේ යෙදෙනවුන්ට එරෙහිව එක්සත් නිර්ධන පන්තික පෙරමුණක් වෙනුවෙන් සංවිධානය වෙමු. ධනපති පාර්ලිමේන්තුවාදය භංගවේවා සෝවියට් බලය දිනේවා. වැඩකරන පිරිමින් හා ගැහැණුන් පෙළන අසමානතාවය භංග වේවා ලෝකය පුරා වැඩකරන ජනතාව සමග ලෝක කොමියුනිස්ට් ජයග‍්‍රහණ වෙනුවෙන් සටන් වදිමු’
මේ ආරාධනය මුලින්ම ඇසුණේ නව පාලනයේ නඩු විභාග අතරතුරදීය. සිවිල් යුද්ධයේ සටන් පෙරමුණුවලදීත් එය නොකඩවා ඇසුණු අතර වෙනත් රටවල වැඩකරන කාන්තාවන්ගේ හදවත්වල ස්වරයක් බවට එය පත්වනු ඇත. වැඩකරන කාන්තාවන් ඊට සවන් දෙනු ඇති අතර එහි නිවැරදිභාවය විශ්වාස කරනු ඇත. ධනපති පාර්ලිමේන්තුවට නියෝජිතවරියන් කිහිපදෙනකු යැවීමට හැකි වුවහොත් ඔවුන්ගේ ජිවිතයට සහනයක් එනු ඇති බවද ධනපති පීඩාව ඉවසාගන්නට හැකිවනු ඇතැයිද මෑතක් වනතුරු ඔවුන් කල්පනා කළා. නමුත් දැන් එය එසේ නොවන බව ඔවුන් දන්නවා.
ධනපති රටවලදී විඳින්නට සිදුව ඇති දුක් පීඩාවලින්, අවමානයෙන්, අසමානතාවයෙන් ඔවුන්ට මිදෙන්නට හැකි වන්නේ ධනපති ක‍්‍රමය පෙරලා දමා සමාජවාදය බිහිකිරීමෙන් පමණකි. වැඩකරන කාන්තාවන්ගේ දිනය ඡුන්ද අයිතිය උදෙසා අරගල කරන දිනයේ සිට කාන්තාවට පූර්ණ විමුක්තිය උදා කිරීමට සටන් කරන දිනය බවට පත් කළ යුතුය. එනම් එය සමාජවාදය හා කොමියුනිස්ට් ජයග‍්‍රහණ උදෙසා සටනක් විය යුතුය.

  • දේපළ සහ ප‍්‍රාග්ධනයේ බලය රජකරන ලෝකය භංග වේවා !
  • කාන්තාවන්ට අයිතිවාසිකම් අහිමි කර අසමානතාවය හිමිකරන පීඩාව ගෙන එන ධනපති ලෝකයේ උරුමය සුන් කරමු!
  • ලිංගිකත්වයේ වෙනස්කම් නොතකන නිර්ධන පන්තික ජාත්‍යන්තරයක් වෙනුවෙන් අරගල කරමින් ලෝකවාසී නිර්ධනීන්ගේ සමගිය දක්වා පෙරට යමු !

සටන් සඳහා අපගේ කැඳවීම 

(ඇ‍ලෙක්සැන්ඩ්‍2රා ‍කොලොන්තායි මෙම දේශණය සිදුකරන අවස්ථාවේ සෝවියට් රාජ්‍යෙය් ප්‍රමුඛතා අලලා කරන ලද අවධාරනය)

අවුරුදු දහයකට පෙර, වැඩකරන කාන්තා දිනය පළමුවෙන්ම සංවිධානය කෙරුණේ සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, කාන්තාවගේ දේශපාලන සමානාත්මතාවය සහ ඡුන්ද අයිතිය වෙනුවෙන් වූ උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගවලදි. රුසියාවෙ වැඩකරන කාන්තාවන් විසින් එම අරමුණ ජයගනු ලැබුවා. සෝවියට් වැඩකර කාන්තාවන් සහ ගොවි කාන්තාවන් ඡුන්ද අයිතිය හෝ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් කරන්න අරගලයක් ඉතිරිව නෑ. මේ වනවිට ඔවුන් ඒ අරමුණු ජයග‍්‍රහණය කර තිබෙනවා. රුසියානු කම්කරු හා ගොවි කාන්තාවන් සමාන පුරවැසියන් බවට පිළිගනු ලබනවා. ජීවිතය වඩා යහපත් තත්වයට රැුගෙනයාමේ අරගලයෙදි ඔවුන් අත බලවත් ආයුද ලෙස ඡුන්ද අයිතිය, සෝවියට් සභා සහ අනෙකුත් සාමුහික සංවිධානවල නියෝජිතයන් වීමේ අයිතිය හිමිව තිබෙනවා.(vi)
නමුත් නීති පමණක් ප‍්‍රමාණවත් නෑ. අප ඒවා භාවිතයට ගැනීමටත් දැන ගත යුතුයි. ඡුන්ද අයිතිය අපේම යහපත සහ කම්කරු රාජ්‍යයේ ජයග‍්‍රහණ වෙනුවෙන් භාවිතයට ගත යුතුයි. සෝවියට් බලය යටතේ මුල් අවුරුදු දෙකම ජිවිතයේ කිසිම වෙනසක් වුණේ නෑ. කොමියුනිස්ට් අරමුණු වෙනුවෙන් අරගලයක යෙදී සිටියත් අපේ අඳුරු මර්දනකාරී අතීතයේ උරුමය බවට පත්වූ ලෝකය විසින් අපව වටකරනු ලැබුවා. පවුල, ගෘහ කටයුතු සහ වෛශ්‍යා වෘත්තිය විසින් බැඳි යදම් වැඩ රකන පන්තියේ කාන්තාවන්ට තවමත් බරක්ව තිබෙනවා. මෙම තත්වය වෙනස් කර තමන්ව නිදහස් කර ජිවිතය තුළ සමානාත්මතාවය බිහිකරගන්න වෙන්නෙ වැඩ කරන හා ගොවි කාන්තාවන්ට පමණයි. නීතියෙන් පමනක් එය කළ නොහැකියි. රුසියාව කොමියුනිස්ට්වාදය කරා ගෙන යාම සඳහා සියලූ ශක්තීන් යෙදුවොත් එය කළ හැකියි.
එය ඉක්මන් කිරීම සඳහා බිඳී විසිර ඇති රුසියානු ආර්ථිකය ඉක්මනින් ගොඩනැගිය යුතුයි. අප විසින් ප‍්‍රමුඛ කාරණා දෙකක් විසඳා ගතයුතු වෙනවා. එකක්, හොඳින් සංවිධානය වූ දේශපාලන සවිඥානකත්වය ඇති කම්කරු බලවේගයක් ගොඩනැගීමයි. දෙවැන්න අපේ ප‍්‍රවාහන පද්ධතිය ශක්තිමත්ව ගොඩනැගීමයි. අපේ ශ‍්‍රම හමුදාව හොඳින් වැඩ කළොත් නැවතත් වාෂ්ප එන්ජින් හදලා දුම්රිය ධාවනය නැවත පටන් ගන්න පුලූවන්. ඒ කියන්නෙ වැඩකරන ජනතාවට වැඩියෙන්ම අවශ්‍යවන පාන් සහ දර ලැබෙනවා.
ප‍්‍රවාහනය සාමාන්‍ය තත්වයට ගැනීමෙන් කොමියුනිස්ට් ජයග‍්‍රහණ කරා යාම වේගවත් වෙනවා. කොමියුනිස්ට්වාදයේ ජයග‍්‍රහණය කියන්නෙ පූර්ණ හා මූලධාර්මික සමානත්වය ස්ත‍්‍රියට හිමිවන බවයි. ඒ නිසා, මේ අවුරුද්දේ වැඩකරන කාන්තාවන්ගෙ දිනය සඳහා අපගේ පණිවිඩය විය යුත්තේ මෙයයි. ”වැඩකරන කාන්තාවනි, ගොවි කාන්තාවනි, මව්වරුනි, බිරින්දෑවරුනි, දියණියනි, අපගේ සියලූ උත්සාහයන් වියයුත්තේ දුම්රිය පද්ධතියේ වියවුල් විසඳීම සහ ප‍්‍රවාහනය ගොඩනැඟීම සඳහා කම්කරුවන් ඇතුළු සහෝදරවරුන්ට සහායවීමටයි. සියලූ දෙනා, පාන්, දර සහ අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා අරගලයක යෙදෙමු.”
පසුගිය අවුරුද්දෙ වැඩකරන කාන්තාවන්ගෙ දිනයෙ සටන් පාඨය වුණේ, ‘සියලූදෙනා රතු පෙරමුණේ ජයග‍්‍රහණ වෙනුවෙන්!’ යන්නයි.(vii) මේ අවුරුද්දේ අපි වැඩකරන කාන්තාවන්ගෙ ශක්තිය ඒකරාශි කරන්න ආරාධනා කරන්නෙ ලේ වැගිරීමෙන් තොර නව පෙරමුණක්, ශ‍්‍රමයේ පෙරමුණක් වෙනුවෙන්!
බාහිරින් පැමිණි සතුරා පරාජය කරන්න රතු හමුදාව සමත් වුණේ සංවිධානාත්මකවීම, විනයගරුකවීම සහ ආත්මපරිත්‍යාගයට සූදානම්වීම නිසයි. ඒ නිසා සංවිධානයවීම, වෙහෙසවීම, ස්වයං විනය, ආත්ම පරිත්‍යාගය තුළින් ප‍්‍රවාහනයේ වියවුල් සහගත බව, සාගතය, ශීතල, රෝග වැනි අභ්‍යන්තර සතුරන් පරාජය කරන්නත් හැකි වන බව ස්ථිරයි.
‘සියලූදෙනාම ලේ වැගිරීමෙන් තොර ශ‍්‍රම යුද පෙරමුණේ ජයග‍්‍රහණය වෙනුවෙන්!’


සටහන්


  1. සාර් පාලනය තුළ රුසියාව භාවිත කළේ ග්‍රෙගරියානු දින දර්ශනයට වඩා දින 13ක් පසුපස සිටින මධ්‍යකාලීන ජුලියානු දින දර්ශනයයි. මේ නිසා මාර්තු 8 යනු පැරණි දින දර්ශනයේදී පෙබරවාරි 23 විය. 1917 මාර්තු විප්ලවය පෙබරවාරි විප්ලවය නමින්ද 1917 නොවැම්බරයේ සිදුවූ විප්ලවය ඔක්තෝබර් විප්ලවයද ලෙස හඳුන්වන්නේ එබැවිනි.
  2. ක්ලාරා සෙට්කින් ජර්මන් සමාජවාදී ව්‍යාපාරයේ නායිකාවක් මෙන්ම ජාතයන්තර වැඩකරන කාන්තා ව්‍යාපාරයේ ප‍්‍රමුඛ නායිකාවයි. ජාත්‍යන්තර සමුලූවේදී කොලොන්තායි නියෝජනය කළේ ශාන්ත පීටර්ස්බර්ග් ඇගලූම් කම්කරුවන්ය.
  3. මෙය කරුණක් ලෙස නිවැරදි නොවේ. එංගලන්තය. ප‍්‍රංශය, ජර්මනිය වැනි රටවල නුපුහුණු කම්කරුවන් සාතිශය බහුතරයකට ඡුන්ද අයිතිය හිමි නොවීය. එක්සත් ජනපදයේ වැඩකරන පන්තියේ සුලූතරයකට විශේෂයෙන් සංක‍්‍රමණික කම්කරුවන්ට ඡන්ද අයිතිය හිමි නොවීය. දකුණුදිග එක්සත් ජනපදයේ කලූජාතිකයන්ට ඡන්දය දැමීමට අවස්ථා අහිමි කරන ලදී. යුරෝපයේ මධයම පන්තික ඡන්ද ව්‍යාපාර වැඩකරන පිරිමින්ට හෝ කාන්තාවන්ට ඡන්ද බලය දිනාගැනීමට සටන් කළේ නැත.
  4. 1903 සමුලූවේදී, රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂය ‘බොල්ෂෙවික්’ (බහුතර යන්න ඇඟවෙන රුසියානු වචනය) සහ ‘මෙන්ෂෙවික්’ (සුලූතර යන්න ඇඟවෙන රුසියානු වචනය) යනුවෙන් වූ පාර්ශ්ව දෙකකට ඛණ්ඩනය විය. 1903-1912 කාලය තුළ (ඛණ්ඩනය තහවුරු වූ කාලය) මෙම පාර්ශ්ව දෙකට අයත් ක‍්‍රියාකාරීහු කෙටිකාලයක් එක්ව වැඩ කළහ, ඒකාබද්ධ වූහ, යළි වෙන් වූහ. සමස්ත ප‍්‍රාදේශීය සංවිධාන ජාලය ඇතුළු බොහෝ සමාජවාදීහු, මේ දෙපාර්ශ්වයම සමග වැඩ කළහ. ඛණ්ඩනයට අදාල කාරණා සම්බන්ධව මධ්‍යස්ථ ලෙස කටයුතු කළහ.
  5. ඔගස්ට් බෙබෙල් (1840-1913) ජර්මන් සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයා විය. කාන්තා ව්‍යාපාරයේ සුප‍්‍රකට ආධාරකරුවකු වූ ඔහු Marxism &  Women (මාක්ස්වාදය හා කාන්තාවෝ) කෘතියේ කතුවරයා විය. එය ‘සමාජවාදය තුළ කාන්තාව’(Women Under Socialism) යන හිසින් ඉංග‍්‍රීසි බසට පරිවර්තනය කර ඇත.
  6. 1914 යුද්ධය ආරම්භ වන විට ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ දැවැන්ත බෙදීමක් සිදු විය. ජර්මනිය, ඔස්ටි‍්‍රයාව, ප‍්‍රංශය සහ එංගලන්තයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් බහුතරය යුද්ධයට සහාය දැක්වූහ. බොල්ෂෙවික් පක්ෂයේ කොලොන්තායි, ලෙනින් වැනි පිරිසක් සහ ට්‍රොට්ස්කි ජර්මනියේ ක්ලාරා සෙට්කින්, රෝසා ලක්සම්බර්ග්, එක්සත් ජනපදයේ ඉයුජින් ඩෙබ්ස් වැනි සමාජවාදීහු යුද්ධයට සහාය දෙන සමාජවාදීන් ද්‍රෝහීන් ලෙස හෙළා දකිමින් වැඩකරන ජනතාවගේ විප්ලවය වෙනුවෙන් සටන් වැදීමට හඬ නැගූහ.
  7. ‘සෝවියට්’ යන වචනයේ තේරුම සභාව යන්නය. සෝවියට් සභා හෙවත් කම්කරු සභා යනු කම්හල්වල හා ප‍්‍රාදේශීයව ඡුන්දයෙන් නියෝජිතයන් තෝරමින් පිහිටුවන ලද සාමාජික කම්කරුවන් විසින් පාලනය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන වේ. සභාවල නියෝජිතයෝ තම තමන්ගේ ආයතනවලට වගකිව යුතු වූ අතර ඉක්මනින් නැවත කැඳවිය හැකි විය.
  8. 1917 ඔක්තෝබරයේ වැඩකරන ජනතාව විසින් බලය අත්පත් කරගත් පසුව රුසියානු කම්කරු රාජ්‍ය මුහුණ දුන් ප‍්‍රධාන ගැටලූ දෙකක් විය. ඉන් පළමුවැන්න වූයේ එක්සත් ජනපදය ඇතුළු රාජ්‍යයන් 13ක ආක‍්‍රමණයයි. දෙවැන්න වූයේ ධනපතියන්ට හා සාර්ට සහාය පළ කළ කොටස්වල ප‍්‍රතිරෝධයයි.
  9. පළමුවැනි ලෝක යුද්ධයට පෙර එක්සත් ජනපදයේ ප‍්‍රාන්ත ගිහිපයක කාන්තාවන් ඡුන්ද අයිතිය දිනා තිබිණි. 1920 අගෝස්තු 26 වැනිදා මධ්‍යම රජයේ නීති සංශෝධනයක් සම්මත කරමින් වයස 21ට වැඩි සියලූම කාන්තාවන්ට ඡුන්ද අයිති තහවුරු කරන ලදී. එහෙත් වැඩකරන පන්තියේ ජනතාවගේ ඡුන්ද අයිතියට තිබුණු නීතිමය බාධා සම්පූර්ණයෙන් ඉවත් කෙරුණේ 1960 වසරේදීය.
  10. ‘සමාදානකයන්‘ – 1918 කයිසර්ගේ පාලනය පෙරළා දැමිමෙන් පසුව නව ධනේශ්වර පාලනයක් බිහිකළ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදින් හැඳින්වීමට කොලොන්තායි මෙම වචනය යොදා ගනී.
  11. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ප‍්‍රථම මන්ත‍්‍රීවරිය ප‍්‍රභූවරියක වූ ඇස්ටර් ආර්යාව වූවද ඡන්දයකින් තේරී පත්වූ ප‍්‍රථම මන්ත‍්‍රීවරිය, කොන්ස්ටන්ස් මාර්ක්වික්ස් නම් අයර්ලන්ත විප්ලවවාදිනියයි. එසේ වුවද ‘සින් ෆෙන්’ පක්ෂයේ සෙසු මන්ත‍්‍රීවරු මෙන් ඇයද අධිරාජ්‍යගැති පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ප‍්‍රතික්ෂේප කළාය.
  12. ප‍්‍රංශ කාන්තාවන්ට දෙවැනි ලෝක යුද්ධය දක්වා ඡුන්ද අයිතිය හිමි වූයේ නැත.