Posted on 06.19.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකක් මෙම මස 23 සහ 24 දෙදින බලාපොරොත්තු වන බවත්, ඒ හේතුවෙන් ඉන්ධන සැපයීම අවම වශයෙන් ලබන බ්‍රහස්පතින්දා වන විට සාමාන්‍ය තත්වය ගෙන ඒමට උත්සාහ කරන බවත්, අත්‍යවශ්‍ය නොවන අය ඉදිරි දිනවල තෙල් පෝළිම්වල රැඳී නොසිටින ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔඑු මෙසේ ද පැවසීය.
අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි ඇනවුම් දෙක 23 හා 24 කියන දවස් දෙක තුළ අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ සඳහා මූල්‍යමය වශයෙන් අපි සුදානම් වෙලා ඉන්නවා. මහ බැංකුව විශාල මැදිහත් වීමක් කරල තියෙනවා ඒ ඩොලර් මිලියන 90 ක පමණ ප්‍රමාණය ලබා දීමට. ඒ සඳහා අවශ්‍ය රුපියල් ප්‍රමාණය ඛණිජ තෙල් සංස්ථාව සහ මහභාණ්ඩාගාරය මැදිහත්ව ලබා දීල තියෙනවා. අලුත් ගනුදෙනුකරුවෙක් එක්ක ගනුදෙනු කරන කොට පළවෙනි නැව ලබා ගන්න එක තමයි ඉතාමත් අභියෝගාත්මක කරුණ වෙන්නේ. ඒ නිසා අපි සුබවාදීව, ධනාත්මකව විශ්වාස කරනවා 23 හා 24 කියන දින දෙකේ පෙට්‍රල් හා ඩීල් නෞකා දෙකක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.
අපි ළඟ තියෙන ඩීසල් ප්‍රමාණය ඉදිරි දින දහයක කාලය තුළ කිසිම ගැටළුවකින් තොරව වෙනදට වැඩිය වෙළඳපොලට නිකුත් කරමින් මේ තියෙන තදබදය ඉවත් කරන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා. පෙට්‍රල් සඳහා අපි විශේෂ අවධානය යොමු කරල තියෙනවා නාගරික ප්‍රදේශවල, විශේෂයෙන්ම පහුගිය කාලයේ පෙට්‍රල් දීර්ඝ කාලයක් නොලැබුණු පිරවුම්හල් හඳුනාගෙන කටයුතු කරන්න. ඊට අමතරව IOC සමාගම සතුව ත්‍රිකුණාමලය ඔවුන්ගේ පර්යන්තයේ මෙට්‍රික්ටොන් 10,000ක් ගබඩා කරල තියෙනවා. අපි විශේෂ ඉල්ලීමක් කළා ලංකා IOC සමාගමෙන්. වෙනදට ඔවුන් ඔවුන්ගේ පිරවුම්හල් වෙනුවෙන් වෙළඳපොලට පෙට්‍රල් නිකුත් කරන්නේ මෙට්‍රික්ටොන් 300ක වගේ ප්‍රමාණයක්. නමුත් ඊට වැඩිය නිකුත් කරල, මෙට්‍රික්ටොන් 1000ක පමණ ප්‍රමාණයක් ඉදිරි දිනවල අඛණ්ඩව නිකුත් කරන්න කියලා.