தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
සියවස් දෙකකට පසුව මාක්ස් සහ අපි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සියවස් දෙකකට පසුව මාක්ස් සහ අපි



(කාල් හෙයින්රික් මාක්ස් නැත්නම් කාල් මාක්ස්ෙග් 200 වැනි ජන්ම දිනය අදට යෙදී අැත. මේ සටහන ඒ් වෙනුවෙනි)

මාක්ස් මීට වසර 200කට පෙර, එනම් සියවස් දෙකකට පෙර 1818 මැයි මස 5වැනිදා ජර්මනියේ ට්‍රීර් නගරයේදී උපත ලැබීය. සියවස් දෙකකට පසුව මාක්ස් යල්පැන ගොස් තිබේද? නැතිනම් මාක්ස් ඉපදුනු සහ ජීවත්වූ යුරෝපීය රටවලින් බොහෝ දුර ඈත, ඊට සියවස් දෙකකට පසුව ජීවත් වන ලංකාවේ අපට මාක්ස් තවමත් අදාලද? මාක්ස්ගේ දෙසිය වන ජන්ම සංවත්සරය සමරන මේ මොහොතේ අවධානය යොමු කළ යුතු කරුණු ඇති විශාල සංඛ්‍යාවක් අතරින් අප මෙම සුවිශේෂී කරුණ තෝරා ගන්නට අපේක්ෂා කරමු. මාක්ස් විසින් දර්ශනය, මානව විද්‍යාව, දේශපාලනය, දේශපාලන ආර්ථික විද්‍යාව, ඉතිහාසය, කලාව ආදී විවිධ ක්ෂේත‍්‍ර වලට සදාකල් නොමැකෙන පරිදි සිය පියවර සටහන් තබා ගොස් ඇත. වසර 2000දී බී බී සී ලෝක සේවය සහශ‍්‍රයේ දාර්ශනිකයා පිලිබඳ පැවැත්වූ ජනමත සමීක්ෂණයේදී ලොව වැඩිම පිරිසක් අප විසින් ගෙවා දැමු සහශ‍්‍රකයේ මිනිස් වර්ගයාට බලගතුම බලපෑම කළ දාර්ශනිකයා ලෙස අවිවාදයෙන් නම් කර තිබුනේ මාක්ස්වය. ඒ ෆීනික්ස් සමාගම විසින් ‘මහා දාර්ශනිකයෝ‘ නමින් පළ කළ පොත් පෙලේ කාල් මාක්ස් නමැති පොත ලියමින් මහාචාර්ය ටෙරී ඊගල්ටන්ද, තවත් බොහෝ අයද මාක්ස් ‘ප‍්‍රති-දාර්ශනිකයෙකු‘ ලෙස හඳුන්වන තත්වයක් යටතේය. එබැවින් මෙහි සඳහන් කළ සහ නොකළ බොහෝ ක්ෂේත‍්‍ර වල මාක්ස්ගේ දායකත්වය මේ මොහොතේ සාකච්ඡුා කළ හැක. නමුත් ඒ සියල්ල වෙනුවට මාක්ස් මේ මොහොතේ ලංකාවට අදාළ වන ආකාරය සාකච්ඡුා කිරීම වැදගත් වනු ඇති බව අපගේ හැඟීමයි.

19 වැනි සියවසෙන් ඔබ්බට මාක්ස්

අප ජීවත් වන මේ මොහොත අපේ සමාජමය ක‍්‍රියාකාරීත්වයන් දෙස දෙආකාරයක මාර්ග විවෘත කර තිබෙන කාලයකි. එක්කෝ අපට ‘විය හැකියාව‘ හෙවත් ප‍්‍රායෝගික කළ හැකි මාර්ගය තෝරාගත හැකිය. ඒ මේ ධනේශ්වර සමාජය තුළම ජීවත් වෙමින්, එය යතාර්ථය ලෙස භාර ගනිමින්, එය පිරිපහදු කිරීමේ උත්සාහයට ජීවිතය වෙන් කිරීමයි. එවිට අපට දැනට ලංකාවේ ජනප‍්‍රියම දේශපාලනය වන ‘අඩු නපුර සෙවීමේ‘ තරඟයට, වඩා නපුරු ධනේශ්වරයේ කුමන දේශපාලන කණ්ඩායමදැයි වාද කිරීමේ වේදිකා වලට, සාපේක්ෂව හොඳ දේ තේරීමේ සාපේක්ෂතාවාදයට ඇතුළු විය හැකිය. එනම් එක දක්ෂිනාංශික පක්ෂයක් වෙනුවට තවත් දක්ෂිනාංශික පක්ෂයක්, එක ප‍්‍රතිගාමී නායකයෙක් වෙනුවට වෙනත් ප‍්‍රතිගාමී නායකයෙක් ආදී ලෙස අපේ තෝරා ගැනීමේ නිදහස උරගා බැලිය හැක. එම මාර්ගය සමාජයේ බහුතරය විසින් තෝරා ගැනීමේ ප‍්‍රතිපලය වී තිබෙන්නේ ‘අලූත් හොරෙක් ඕනෑ‘ ලෙස වේදිකා නාට්‍යයක උත්ප‍්‍රාසාත්මකව සඳහන් කරනු ලැබූ තේමාව සමස්ත සමාජයේම දේශපාලන ආදර්ශ පාඨය බවට පත් වීමයි. යම් යම් ක්ෂේත‍්‍රවලදී එම මාර්ගයේ ගමන් ගන්නන්ටද මාක්ස් මගහැර යා නොහැකිව තිබේ.
නමුත් අපට මාක්ස් අදාළ වන්නේ, සැබවින්ම අදාළ වන්නේ දෙවැනි මාවතේදීය. මේ නරා වලේම ගිලී යාම වෙනුවට කවර හෝ විකල්පයක්, විමුක්ති මාවතක් තිබේද? තිබේනම් ඒ කුමක්ද? අපට මාක්ස් මුණ ගැසෙන්නේ එහිදීය. වත්මන් ජීවන අනුභුටිහ්ය අපට උගන්වන පාඩම කුමක්ද? ඒ අන් කිසිවක් නොව මාක්ස්ගේ දැක්ම නිවැරදි බවය.

අප මාක්ස්ගෙන් ගන්නේ ඔහු භාවිතා කළ 19වන සියවසේ දේශපාලන ආකෘතිය නොවේ. අප ගන්නේ එහි සාරයයි. අප ගන්නේ මාක්ස්ගේ වාග්පාඨ නොවේ. එම වාග්පාඨ පසුපස පවතින දේශපාලන දැක්ම සහ චින්තන රටාවයි. නිදසුනකින් කියන්නේනම් වත්මන් වාමාංශික ව්‍යාපාරය ග‍්‍රහණය කර ගත යුතුව තිබෙන්නේ ‘18වන බ්රූමරය‘ කෘතියේ අත්තනෝමතික පාලනයකට මුහුණදීම පිලිබඳ යෝජනා කර ඇති උපක‍්‍රම නොව එහි දේශපාලන පදනමයි. ඒ අර්ථයෙන් මාක්ස් කිසිසේත් අවලංගු වී නැති අතර අවලංගු වී ඇත්තේ මාක්ස්වාදය නමින් තිබු දෘෂ්ටිවාදයක් සහ වාග්පාඨයි. ධනවාදය විසින් ලෝකයට සිදුකර තිබෙන විනාශය දකින විට විකල්පය නිර්මාණය කර ගත හැක්කේ මාක්ස් කරා යාමෙන් මිස අන් කිසිදු ආකාරයකින් නොවන බවට සැකයක් නැත.

ධනේශ්වර ආර්ථිකය සහ ප‍්‍රාග්ධන යාන්ත‍්‍රනය පිළිබඳවත්, ධනේශ්වර සමාජය තුළ රාජ්‍යය, සංස්කෘතිය සහ දෘෂ්ටිවාදයන් ක‍්‍රියා කරන ආකාරය පිළිබඳවත් මාක්ස් විසින් එල්ල කරනු ලැබූ ආලෝකය හැර අන් කිසිදු විකල්පයක් මෙම සියවස් දෙක තුළම ඉදිරිපත් වී නැති බව මාක්ස්වාදයේ සතුරන් පවා පිළිගන්නා සත්‍යයකි. ධනේශ්වර ආර්ථිකය අතිරික්ත වටිනාකම් උකහා ගැනීමේ ක‍්‍රියාකාරීත්වය විසින්ද, වැඩි ලාභ සඳහා වන තරඟය විසින්ද, සමුච්ඡගතකරණයේ ප‍්‍රාග්ධන අවශ්‍යතා මත සිදුවන අධි නිෂ්පාදනය විසින්ද වර්ධනය කරනු ලබන ප‍්‍රතිවිරෝධතාවයන්ගෙන් ගැබ් ගන්වනු ලබා ඇති බවටත්, එය නිරන්තර ආර්ථික අවපාතයන්ට සහ ගෝලීය ආර්ථික අර්බුදයන්ට පාර කපන බවටත් මාක්ස් කළ නිගමනය නිවැරදි බව අපි 2008දීත් ඇස් පනාපිට දුටුවෙමු. එවකට ප‍්‍රංශයේ ජනාධිපතිව සිටි දක්ෂිනාංශික නායකයෙකු වන නිකොලස් සර්කෝසි හට පවා දැන් තමන්ට මාක්ස්ගේ ප‍්‍රාග්ධනය කෘතිය කියවන්නට වී ඇති බව පැවසීමට සිදුවූ ආකාරය අපි දුටුවෙමු. ඉතිරි විෂයයන් වලද මාක්ස් සදාකාලික අගයක් සහිත ප‍්‍රතිපාදනයක් සිදු කර ඇති අතර ඒවා සෑම දිශාවකටම වර්ධනය කළ හැකි අත්තිවාරමක් ලෙස පවතී.

මහා විනාශයක් අතර මාක්ස්ගේ අදාළත්වය

අද අප ජීවත් වන්නේ ධනවාදය විසින් සමස්තය මහා විනාශයක් වෙත කැඳවා තිබෙන මොහොතකය. සූරාකෑම සහ එහි විධික‍්‍රම කෙතරම් තීව‍්‍ර වී තිබේද යත් ප‍්‍රාග්ධන සමුච්ඡනය වෙනුවෙන් අන් කවරදාටත් වඩා වැඩකරන ජනතාවට සිය සමස්ත ජීවිතයෙන්ම වන්දි ගෙවීමට සිදුව තිබේ. ඒ ජීවිත කාලයෙන් සහ සිය ආහාර,ඖෂධ, නිවාස, ඇඳුම් වැනි භෞතික අවශ්‍යතා කැප කිරීමෙන් පමණක් නොවේ. සියලූ සංස්කෘතික සහ අධ්‍යාත්මික අවශ්‍යතාද අත හරිමින් අවමානුෂිකකරණයට ගොදුරු වෙමිනි. තම තමන් අතර ලෝකය බෙදාගෙන සිටින මූල්‍ය ප‍්‍රාග්ධනයේ ස්වාමීන් වන අධිරාජ්‍යවාදී බලයන් නැවත නැවතත් ලෝකය බෙදා ගැනීමට කරන උත්සාහය හමුවේ විනාශකාරී ලෝක යුද්ධයක අනතුර අප ඉදිරියේ ප‍්‍රදර්ශනය වෙමින් තිබේ. එවැනි ලෝක යුද්ධයක් අනිවාර්ය වශයෙන්ම ස්වයං විනාශකාරී යුද්ධයක් වනු ඇත. වරක් ප‍්‍රකට විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් පැවසු ලෙස තුන්වන ලෝක යුද්ධයක් මගින් සමස්ත මිනිස් වර්ගයා විනාශ මුඛයට ඇද දමනු ඇති අතර සිව්වන ලෝක යුද්ධයක් සිදුවනු ඇත්තේ පොලූ මුගුරු වලිනි. පරිසරය දැවැන්ත විනාශයක් කරා ගමන් කරමින් සිටින අතර ප‍්‍රාග්ධන හිමියන් තමන් පරිසරය දමනය කරනු ලැබුවේයයි උදම් අනන සෑම වාරයක් පාසාම ස්වභාව ධර්මයා දැවැන්ත ව්‍යසන හරහා ඊට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරමින් සිටී. ගෝලීය උණුසුම ඉහල යාමේ අවදානම තුරන් කිරීමට අප අපොහොසත් වුවහොත් තවත් සියවසකින් පෘථිවිය මිනිස් වාසයට නුසුදුසු ග‍්‍රහ ලෝකයක් බවට පත්වනු ඇත. මේ ප‍්‍රශ්න එකකටවත් දක්ෂිනාංශික දේශපාලනයට උත්තර නැත. ලිබරල් දේශපාලනයට කළ හැක්කේ මේ විනාශයන් තවත් වේගවත් කිරීම පමණි. ජාතිකවාදී දේශපාලනයට සිය දේශසීමා තුළ මේ ගෝලීය පරිමාන ප‍්‍රශ්න එකකටවත් පිළිතුරු සම්පාදනය කළ නොහැකි අතර ඔවුන්ට කළ හැක්කේ ජාතිවාදී-ආගම්වාදී ගැටුම් හරහා ම්ලේච්ඡුත්වය කරා යන ගමනට තවත් ඉන්ධන ගැසීම පමණි. එකම ප‍්‍රායෝගික පිළිතුර ලාභය නොව සමාජ අවශ්‍යතා මත පදනම් වූ ආර්ථිකයක් සහිත, වැඩකරන ජනයා සිය ජීවිතයේ ඉරණම තීරණය කිරීමේ බලය අත්පත් කර ගන්නා විප්ලවීය පරිවර්තනයක් පමණි. කෙතරම් මනෝරාජික යයි අවලාද ගැසුවද මාක්ස් පැවසු ලෝක විප්ලවය හැර මේ විනාශය ඉදිරියේ අන් සියල්ල මනෝරාජිකය. එකම යථාර්ථවාදී පිළිතුර කොමියුනිස්ට්වාදය පමණි. මේ කුණුවූ සමාජ දේහයේ කොටස්කරුවන්ව සිටින අපට මාක්ස්ගේ අන්‍යොන්‍ය පරිපූර්ණත්වය පිලිබඳ සංකල්පය ග‍්‍රහණය කර නොගෙන මිනිස් සබඳතාවක් පවා පවත්වාගෙන යා නොහැක. එබැවින් අප පසුකරමින් සිටින්නේ මාක්ස් යල්පනිනු ලැබූ හෝ අවලංගු වූ යුගයක් නොව මාක්ස් නිවැරදි බව තහවුරු වූ මොහොතකි. මාක්ස් විසින් නිමවනු ලැබූ අත්තිවාරම තවත් දිශා ගණනාවකට වර්ධනය කරනු ලබන මාක්ස්ලා දුසිමක් අවශ්‍ය වී ඇති මොහොතකි.

මානවවාදී අභිලාෂයන් වෙනුවෙන්

මාක්ස් අධ්‍යයනය කළ යුත්තේත් මාක්ස් වටහා ගත යුත්තේත් ඔහු ජීවත්වූ සන්දර්භය තුළය. 19වන සියවස වනාහී එක පැත්තකින් යුරෝපය කැළඹු විප්ලවීය නැගිටීම් වලින්ද, තවත් පැත්තකින් එතෙක් මානව වර්ගයා සිරකොට තැබූ වැඩවසම් බන්ධනයන්ගෙන් නිදහස් වීම සඳහා දරන ලද මහා බුද්ධිමය පරිශ‍්‍රම වලින්ද කැළඹුණු සියවසකි. කෙටියෙන් කියන්නේනම් එය නුතනත්වය තුළ සමාජය යලි හැඩ ගැන්වුණු යුගයයි. නුතනත්වය එළඹෙන්නාක් සමගම නුතනවාදී අදහස්ද කරලියට ආවේය. හේගල් පවසන ආකාරයට නුතනත්වය (Our age as the most recent period)නව යුගයකට උපත දෙන සංක‍්‍රමණීය අවධියකි. (Our time is a birth and transition to a new period), මිනිස් ඉතිහාසයේ අවසන් කූටප‍්‍රාප්තියකි. (The last stage in the history)හේගල් නුතනත්වයේ ඇති පුද්ගලවාදය, විවේචනයට ඇති අයිතිය, ක‍්‍රියාවට ඇති ස්වාධිපත්‍යය සහ ස්වසවිඥානය ඔප් නැංවූ විඥානවාදී දර්ශනය යන අංග හතර ධනාත්මකව දුටුවේය.
නූතනවාදයේ ප‍්‍රධාන චින්තනමය ලක්ෂණ වුයේ මනුෂ්‍යත්වය පිළිබඳව ඇති බැඳීම, සමාජ සාධාරණය-යුක්තිය-නිදහස ආදී විශ්වීය වටිනාකම්, ආත්මීයත්වයේ නිදහස, ප‍්‍රගතිය පිලිබඳ විශ්වාසය, තර්ක බුද්ධියට සහ ශාස්ත‍්‍රාලීයත්වයට ඇති පක්ෂපාතීත්වය ආදියයි. මේ චින්තන රටාව මාක්ස්ටද බලපෑම් කළ අතර නූතනවාදය සාදරයෙන් පිළිගත් දාර්ශනිකයෙකු වූ හේගල් මාක්ස්ට බෙහෙවින් බලපෑ බවද අමතර කරුණක් ලෙස කිව යුතුය. මාක්ස් නුතනත්වයේ අපේක්ෂාවන් සහ සමාජ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටියේය. විශේෂයෙන් ප‍්‍රංශ විප්ලවයේ සටන්පාඨ වූ නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය මාක්ස් වැඩිපුරම අගයන ලද මූලධර්ම වුයේය. ඉතා ලාබාල වියේදී ඔහු සිය විශ්ව විද්‍යාල කටයුතු සඳහා විභාග රචනාවක් ලෙස ‘රැකියාවක් තෝරා ගැනීම සඳහා තරුණයෙකුගේ ප‍්‍රත්‍යවේක්ෂණයන්‘ නමැති ලිපියෙත් ඔහු මානව වර්ගයා වෙනුවෙන් කැපවීම සහ පොදු සමාජ වගකීම පිළිබඳව ලිවීය.
‘කෙසේ වුවද වෘත්තියක් තෝරා ගැනීමේදී අපට මග පෙන්විය යුතු ප‍්‍රධාන මූලධර්මයක් නම් මනුෂ්‍ය සංහතියේ සුභසිද්ධිය සහ අපගේම පරිසමාප්තියයි. මෙම උත්සුකතාවයන් දෙක එකිනෙක සමග ගැටෙන බව හෝ එකක් විසින් අනෙක වනසා දැමිය යුතු බව හෝ නොසිතිය යුතුය. ඊට ප‍්‍රතිපක්ෂව තම සමාජයේ පරිසමාප්තිය සහ සුභසිද්ධිය උදෙසා කටයුතු කිරීම මගින් පමණක්ම තමන්ගේම පරිසමාප්තිය සාධනය කරගත හැකි පරිදි මිනිසාගේ ස්වභාවය සැකසී ඇත.‘
ඔහු නූතනත්වය දුටුවේ සර්වකාලීන මානව අභිලාෂයන් නියෝජනය කළ, එහෙත් එම අවධියේ බලයට පැමිණි ධනපති පන්තිය විසින් පාවාදුන් අභිලාෂයන් සහිත එකක් ලෙසය. ඔහු නුතනවාදයේ සීමාවන් දුටු නමුත් එයට මුළුමනින්ම පිටුපා බුද්ධි විරෝධයකට ගියේත් නැත. නූතනත්වයේ මුල් කාලීන අපේක්ෂා සුන්වී ඇති බවත්, එය විසංවාදයන්ගෙන් ගහන බවත් මාක්ස්ගේ අදහස විය. නමුත් එම විසංවාද පන්තිමය බැවින් ඒවා විසඳිය හැකි බවද ඔහු පිළිගත්තේය. නුතනත්වයේ සමාජ අභිලාෂයන් උපයෝගී කර ගනිමින් බලයට පැමිණි ධනපති පන්තිය එම අභිලාෂයන් පාවා දුන් බවට ඔහු දක්වන ප‍්‍රකටම උදාහරණය අනුලංඝනීය මිනිස් නිදහස වෙනුවට හෘද සාක්ෂියට කිසිසේත් එකඟ නොවන එකම නිදහස ලෙස වෙළඳාම් කිරීමේ නිදහස පිහිටුවාලීමයි. සමානාත්මතාවය පිලිබඳ පොරොන්දුව නෛතික සහ දේශපාලන සමානාත්මතාවයකට ලඝු කරන ලද බවද, සහෝදරත්වය පිලිබඳ පොරොන්දුව ජාතික රාජ්‍යයේ ජාතිය තුළ සහෝදරත්වයකට පටු කරන ලද බවද විවේචනයක් ලෙස ඉදිරිපත් කරන ලදී. එනිසාම මාක්ස් ‘නුතනත්වයේ ඓතිහාසික රංගනය සහ ක්ෂිතිය‘ (Historical Drama and Trauma of Modernity) අනාවරණය කළ චින්තකයා ලෙස සැලකේ.

වාග් පාඨවලින් ඔබ්බට මාක්ස් කැදවීම

එනිසා මාක්ස් නුතනවාදී වටිනාකම් ග‍්‍රහණය කර ගැනීමේදී මෙන්ම එහි සීමාවන් ඉක්මවා යාමේදීද වැදගත්ම කාර්ය කොටස ඉටු කරන ලද දාර්ශනිකයා වේ. මාක්ස් අද ලංකාවට වඩා වැදගත් වන්නේ එහෙයිනි. ලංකාවට ධනවාදය පැමිණියේ බි‍්‍රතාන්‍ය ආක‍්‍රමණයන් සමගය. එනිසාම ලංකාවේ නුතනත්වය යටත්විජිතවාදය සමග එකට බැඳී යටත්විජිතවාදයට අවශ්‍ය ආකාරයට කැපීකෙටී පැමිණි එකකි. යුරෝපා රටවල මෙන් ලංකාවේ ධනේශ්වර ක‍්‍රමය ස්ථාපිත වීමේදී එයට ජන සහභාගී විප්ලව වල අනුග‍්‍රහය ලැබුනේ නැත. බුද්ධි ප‍්‍රබෝධයන්ගේ හෝ සංස්කෘතික පුනරුද වල අනුග‍්‍රහය ලැබුනේද නැත. ලංකාවේ පවතින්නේ පසුගාමී උත්තරාරෝපිත ධනවාදයකි. එනිසාම ලංකාවේ සමාජයේ නුතනවාදී වටිනාකම් පද්ධති පවා පරිපූර්ණව ගොඩ නැගී නැත. නිදසුනක් ලෙස පුද්ගල නිදහස සහ සමාජ නිදහස පිලිබඳ ලෝකයේ මීට සියවස් ගණනාවකට පෙර ගොඩ නැගුනු සංවාදය සහ වටිනාකම් පද්ධති පවා ලංකාවට මේ 21වන සියවසේදීත් ආගන්තුකය. නුතනවාදී වටිනාකම් වලට ප‍්‍රතිපක්ෂව ඉදිරිපත් වන්නේ පූර්ව ධනේශ්වර, ආසියාතික නිෂ්පාදන මොඩලයට අයත් ලක්ෂණය. ලංකාව වැනි රටවල නුතනවාදයම පවා පූර්ව ධනේශ්වර අගතීන් සම්මිශ‍්‍රණය කොට නිර්මාණය වී තිබේ. එනිසා නුතනවාදය විසින් සමාජගත කරවන ලද හැර පද්ධතීන් ස්ථාපිත කිරීමේ සහ නුතනවාදී සීමාවන් අතික‍්‍රමණය කිරීමේ යන ද්විත්ව කාර්යභාරයන් අප හමුවේ අභියෝගයක්ව පවතී. සූරාකෑමේ, යුද්ධයේ, විෂමතාවයේ, දේශපාලන වහල්බවේ, සංස්කෘතික දිළිඳු බවේ සහ පරිසර විනාශයේ අභියෝග ලෝක මට්ටමින් ජය ගැනීමේදී පමණක් නොව මෙම සංයුක්ත මොහොතේදී ලංකාවේ සමාජයට සිය අගතීන් පිසදා හැර හිස එසවීමේදීද පදනම සකස් කර දෙන්නේ මාක්ස් බව ස්ථිරය. මාක්ස්ගේ වාග්පාඨ නොව මාක්ස්ගේ දේශපාලන පදනම් සහ චින්තනය වසර දෙසීයකට පසුව අදත් අපට ආලෝකය සපයමින් ප‍්‍රභාමත්ව දිදුලයි.
එවකට එංගලන්තයේ සහ ජර්මනියේ ප‍්‍රකටව පැවතුනු ‘පාපොච්චාරණ‘ නම් ප‍්‍රශ්න මාලාවට පිළිතුරු දෙමින් මාක්ස් තමන්ගේ ප‍්‍රියතම ආප්තෝපදේශය ලෙස නම් කරන්නේ ‘මානුෂිකවූ කිසිවක් මට අහිතකර නොවේ‘ යන ආප්තෝපදේශයයි. ඔහුගේ ප‍්‍රියතම ආදර්ශ පාඨය ‘සියල්ල සැකකරනු‘ යන්න බව මාක්ස් පවසා තිබේ. එම රුචිකත්වයන් ද්විත්වයම පවා මාක්ස්ගේ දැක්ම සංයුක්ත කරයි. මහා බුද්ධිමය සම්ප‍්‍රදායක් සහ මනුෂ්‍යත්වය පිලිබඳ දැවෙන අනුරාගය. වසර 200කට පසුත් අද ලොව පුරා ජනයා මාක්ස් සිහිපත් කරන්නේ එනිසාය. වයස අවුරුදු 17දී ලියු ඉහත සඳහන් කළ ලේඛනයේදී මාක්ස් තම අරමුණ ගැන මෙලෙස ලියයි. මාක්ස් එම අරමුණ කරා සිය මුළු ජීවිත කාලය පුරාම ගමන් ගත්තේය. අපද එම අරමුණ දරන්නේනම් මේ ව්‍යසනයන් නිමා කිරීම එතරම් අපහසු නොවනු ඇත.
‘එවිට අප කිසිදු පටු, සීමිත, ආත්මාර්ථකාමී සතුටක් අත් නොවිඳිනු ඇත. අපගේ සතුට ලක්ෂ සංඛ්‍යාත ජනකායකට අයත් වනු ඇත. අපගේ ක‍්‍රියාවන් නිහඬ වුවද සදාකාලිකවම පවතිනු ඇත. අපගේ භෂ්මාවශේෂ මත උතුම් මිනිසුන්ගේ උණු කඳුළු වැගිරෙනු ඇත.‘