தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
MCC ගිවිසුම ප්‍රශ්නකාරියි - සමාලෝචන කමිටුව ජනපතිට දන්වයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

MCC ගිවිසුම ප්‍රශ්නකාරියි – සමාලෝචන කමිටුව ජනපතිට දන්වයි



MCC ගිවිසුම් කෙටුම්පතේ ප්‍රශ්නකාරී කරුණු සහ අහිතකර ඵල විපාක රැසක් ඇති බව ගිවිසුම සමාලෝචනකිරීමට පත්කල කමිටුව සිය අවසන් වාර්තාව ජනාධිපතිවරයාට භාර දෙමින් පෙන්වා දී තිබේ.

එහිදී MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවලට අද අත්ව ඇති ඉරණම පිළිබඳව ද කමිටු සාමාජිකයින් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බවත් ඒ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නොමැති බවත් කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසා ඇත.

තවද රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු ක්ෂේත්‍රීය ආවරණයක් කර නොමැති බව ද සභාපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, නිත්‍යනුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ඉඩම් කොමසාරිස්වරයා ද පැහැදිලි කර ඇති බවයි.

ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ගිවිසුමට පටහැනි වීමක් බව ද කමිටු සභාපතිවරයා වාර්තාව ඉදිරිපත් කරමින් පවසා ඇත.

ඔහු පවසා ඇත්තේ , නියෝජිතයින් දෙදෙනෙකුට ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට හැකි බවයි.

එවැනි තීරණයක් පාර්ලිමේන්තු පරමාධිපත්‍ය උල්ලංඝණය කිරීමක් බව කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

දැනට පවතින ආණ්ඩුව බලයට පත්වීමට ප්‍රථම මැතිවරණ සමයේ MCC ගිවිසුම අහෝසි කරන බවට පොරොන්දු වූ අතර බලයට පත්වීමෙන් පසු ගිවිසුම සමාලෝචනය සඳහා යයි පවසමින් කමිටුවක් පත්කරන ලදී. ඒ අනුව මාස 06ක කාලයක් තිස්සේ සිදු කළ අධ්‍යයනයකින් පසුව මෙම කමිටු වාර්තාව සකස් කෙරිණි.

මෙම අවසන් වාර්තාව ජනාධිපතිවරයාට ලබාදීමට පෙර අගමැතිවරයා වෙත ලබාදී තිබුණි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන අය කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම සිව් පුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.