தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
දින 6ක් ඇඳි MCC විරෝධී වීදි සිතුවම පැයකින් විනාශ කරති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දින 6ක් ඇඳි MCC විරෝධී වීදි සිතුවම පැයකින් විනාශ කරති!



එක්සත් ජනපදය සමග ආණ්ඩුව අත්සන් කිරීමට නියමිත MCC ගිවිසුමට විරෝධය දක්වමින් කෝට්ටේ බැද්දගාන ප්‍රදේශයේ තාප්පයක සිතුවම් කර තිබූ අගනා වීදි චිත්‍රය සාහසික ලෙස මකා දමා ඇත. 

එරංග ශ්‍රීමාල් නමැති චිත්‍රකලා ගුරුවරයකු විසින් තරුණ පිරිසක් එක්ව පිටකෝට්ටේ-තලවතුගොඩ මාර්ගයේ බැද්දගාන කීල්ස් සුපිරි වෙළඳසල අසළ තාප්පයේ මෙම චිත්‍රය නිර්මාණයකර ඇත්තේ ‘එක්සත් ජනපදයේ බලහත්කාරී මැදිහත්වීම්වලට එරෙහි ජාතිකවාදී ප්‍රකාශනයක්’ ලෙසිනි. සෞන්දර්ය විශ්වවිද්‍යාල උපාධිධාරියකුවන ගුරුවරයා සහ ප්‍රදේශයේ තරුණ තරුණියන් විසින් මෙම ස්තුවම නිර්මාණය කිරීමට දින 6ක් දිවා රෑ වෙහෙස වූ බව කියති. කෙසේවෙතත් අද දින සවස් කාලයේ පැයක පමණ කාලයකදී මෙම දැවැන්ත වීදි සිතුවම මත තින්ත තවරා එම අලංකාර සහ ප්‍රකාශනයක් ලෙස ප්‍රබල චිත්‍රය විනාශකර දමා තිබේ. ජාතිකවාදී රැල්ලකින් තාප්ප මත වීදි චිත්‍ර ඇඳීමේ රැල්ල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුගාමිකයන් විසින් සිදුකරමින් පවතින තත්වයක් යටතේ අධිරාජ්‍යවාදී ප්‍රාග්ධන අරමුණු හා එක්වූ ආණ්ඩුවේ න්‍යායපත්‍රය අභියෝගයට ලක්කරන චිත්‍ර නිර්මාණයක් මෙසේ විනාශකර ඇත. අන් අයගේ මතවාදයන් සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදී එළඹුමක් නොමැති පාලකයන් විසින් කලාත්මක ප්‍රකාශනයක් මෙසේ විනාශ කිරීමේ සාහසිකත්වය හෙලාදැකිය යුතු බව  කලාකරුවන් විසින් මත දක්වා තිබේ.

ආණ්ඩුව විසින් අදදින නිවේදනයකර තිබුණේ MCC ගිවිසුම සම්බන්ධ නැවත සළකා බැලීමට විශේෂ කමිටුවක් පත්කර ඇති බවය. එහි අදහස ජනාධිපතිවරණයට පෙර පොරොන්දු දුන් ආකාරයට MCC ගිවිසුම අහෝසි කිරීමට ආණ්ඩුව සූදානම් නැති බවය. ඒ වෙනුවට ආර්ථික අර්බුදය සමහන් කිරීමට එක්සත් ජනපදයෙන් MCC මගින් ප්‍රදානය කෙරෙන ඩොලර් මිලියන 480 ලබාගැනීමට ආණ්ඩුව උපක්‍රමික ප්‍රවේශයක් ගෙන ඇති බව දැන් පැහැදිලිය. MCC විරෝධී වීදි චිත්‍ර විනාශ කිරීම එම ‘තාප්පය අයිතිකරු’ ලෙස කීල්ස් පාලනය විසින් කළ දෙයක් ලෙස ප්‍රකාශිත වී තිබේ. එහෙත් මෙය ගෝඨාභය රාජපක්ෂගේ අනුගාමිකයන්ගේ පූර්ණ මැදිහත්වීම සහිතව සිදුවූවක් බවට අදහස් පළවන්නේ MCC ප්‍රදානය ලෙස ඩොලර් මිලියන 480 ලබාගැනීමට ආණ්ඩුව සූදානම්වන පසුබිම තුළය.

වීදි චිත්‍රය විනාශ කිරීමට පෙර….