தமிழ்
English
Contact
Friday 6th December 2019    
MCC, SOFA, ACSA ගිවිසුම්වලට එරෙහි පෙත්සම් විභාගය ලබන වසරට කල් යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

MCC, SOFA, ACSA ගිවිසුම්වලට එරෙහි පෙත්සම් විභාගය ලබන වසරට කල් යයි



මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම, සෝෆා ගිවිසුම සහ ඇක්සා ගිවිසුම අත්සන් කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන සලකා බැලීමට ලබන ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ(13) නියම කළේය.

මෙම පෙත්සම් ඊයේ (13)පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත මෙම නඩුවට අදාළ නොතීසි ලැබී නොමැති බවය. ඒ අනුව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා ඇත.

අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ යන පාර්ශව විසින් පෙත්සම් ගොනු කර තිබූණි. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය හදිසි කටයුත්තක් සේ සලකා විභාගයට ගත යුතු පෙත්සමක් බව පෙන්වා දුන්නේය.

සියලු කරුණු සලකා බැලු පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 31 වනදා සිදු කරන බවත් වගඋත්තරකරුවන්ට අවශ්‍ය කරනු ලබන ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුමඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

පෙත්සම්කරුවන් කියාසිටින්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා රජය ඇමරිකානු රජය සමග හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම, අත්පත් කර ගැනීම හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම සහ සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කීපයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට ඉකුත් 30වන දා පළ වූ මාධ්‍ය වාර්තා වලින් දැන ගත් බවයි.

පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක් සිදුවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව කියා සිටියි.