தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
කම්කරු පන්තිය සටනට එක් කරන්න ඕන! - පේ‍්‍රමපාල හේවාබටගේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කම්කරු පන්තිය සටනට එක් කරන්න ඕන! – පේ‍්‍රමපාල හේවාබටගේ



71 සහෝදරත්ව සංසදයේ ප්‍රමුඛ සාමාජිකයකු වූ පේ‍්‍රමපාල හේවාබටගේ අද(6) අලුයම අරගලකාරී ජීවිතය නිමා කළේය. 1971 මහ නඩුවේ 38 වැනි විත්තිකරු වූ ඔහු, 1964 දී සරසවි ප්‍රවේශයට ඉගෙන ගනිමින් සිටියදී රෝහණ විජේවීර හමුවිය. හම්බන්තොට, මොණරාගල දිස්‌ත්‍රික්‌කවල ජ.වි.පෙ. අධ්‍යාපන පන්ති පැවැත්වීමේ ප්‍කටයුතු කළ ප්‍රේමපාල වැලිසර නාවික සහ හෝමාගම හමුදා කඳවුරුවල සාමාජිකයන්ටද දේශපාලන පන්ති පැවැත්වීය. අප්‍රේල් අරගලයේ පරාජයෙන් පසු 1971 අප්‍රේල් 8 වැනිදා මාතලේ ලෙනදොර කඳවුරට එක්‌වූ ඔහු විල්පත්තුව ඇතුළු රටපුරා සැඟවී සිටි ජවිපෙ සාමාජිකයෙන් සම්බන්ධීකරණය කරන්නට වෙහෙස විය. එසේ වුවද 1972 නොවැම්බර් මස 3 වැනිදා  ගෙලිඔයේදී ඔහු අත්අඩංගුවට පත්විය. මේ සදහා තොරතුරු පිටවූයේ ජ.වි.පෙ. ප්‍රමුඛ සාමාජිකයකු වූ ගාමිණි බාස්ගෙන් බවට චෝදනා එල්ල විය. මහ නඩුව අවසානයේ පසුවසරක සිර දඬුවමක්‌ නියම වූ ප්‍රේමපාල, 1977 දී අනෙකුත් දේශපාලන සිරකරුවන් සමඟ නිදහස්‌ විය. නිදහසින් පසු ජ.වි.පෙ. වෙතින් ඉවත්ව ‘ජනතා සංගමය‘ නමින් නව දේශපාලන සංවිධානයක් බිහිකිරීමට මූලිකත්වය ගත් ප්‍රේමපාල විවාහ වූයේද ජවිපෙට සාමාජිකාවක වූ විජිතා සමඟය. තිදරු පියෙකු වන ඔහු, 1971 අරගලයේ සගයකු වූ සරත් ප්‍රනාන්දු සමග එක්ව, ‘ජාතික ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරයේ‘ ක්‍රියාකාරීයකු ලෙස 2011 දක්වා කටයුතු කළේය. 

‘ජනරළ‘ පුවත්පතේ 2013 මැයි 5 කලාපයේ පළ වූ පහත සාකච්ඡාව අප මෙහි පළ කරන්නේ යම් දේශපාලන අවබෝධයක් ඇතිවූ කාලයේ සිටම තමන් තරොගත් වාම දේශපාලනයේ අරමුණු අවසන් මොහොත දක්වා බැහැර නොකළ මිනිසකුගේ මතකය අපේ සමාජය වෙත ඉතිරිකර තැබීමේ අරමුණ ඇතිවය.

  • ඔබ දේශපාලනයට පිවිසුණේ කොහොමද කියලා මුලින්ම කතා කළොත්?

මම උපන්නෙ නුගේගොඩ, ගංගොඩවිල, පැගිරිවත්ත ප‍්‍රදේශයේ. මගේ ගෙදර කියන්නෙ ප‍්‍රබල එක්සත් ජාතික පාක්ෂික ගෙදරක්. මගේ තාත්තා පිරිවෙන් අධ්‍යාපනය ලබපු, කලක් සිවුරෙත් හිටපු, සංස්කෘත පාලි හොදට දන්න ගමේ උගතෙක්. අම්මා බොහොම පෙරළිකාර චරිතයක්. ඒ දවස්වල ඉදලම පිලිප් ගුණවර්ධනගේ බොරලූගොඩ පවුල අපේ ගෙදරට ගොඩක් බලපෑම් කළා. ජාතිකවාදී තැනක හිටියත් අන්ත දක්ෂිණාංශික කන්සවේටිව් තත්වයක් තිබුණෙ නෑ. අපේ ගෙදර කියන්නෙ විවිධ දේශපාලන සාකච්ඡුා ඇති වූ තැනක්. ඒ බලපෑම තමයි මාව දේශපාලනයට යොමු කළේ.

  • මූලිකව කම්කරු ව්‍යාපාරය ගැන ඔබ දක්වන්නෙ මොන වගේ අදහසක්ද?

එක පැත්තකින් ඉතිහාස කතන්දරයක් හැටියටත් මේක දක්වන්න පුළුවන්. තවත් විදිහක් තමයි කම්කරු ව්‍යාපාරය කොහොමද දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් වර්ධනය වෙන්නෙ සහ වර්ධනය නොවුණා නම් ඒ ඇයි කියන කතන්දරය. මේ වෙලාවේ අවශ්‍ය වෙන්නෙ වැඩි අවධානයක් මේ කාරණයට යොමු කරන්න. ලංකාවෙ කම්කරු පන්ති ව්‍යාපාරය කිව්වහම දේශපාලනිකයි.

එතකොට දේශපාලනික වශයෙන් ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයක් හැඩ ගැහුණෙ කොහොමද, යම් යම් අවස්ථාවල දී මේ දේශපාලන වර්ධනයට ඇති වුණ බාධා මොනවද කියන කාරණා ගැන කතා කරන්න ඕනෙ. 1930 ගණන්වලින් පස්සෙ තමයි දේශපාලන නායකත්වයක් සමග නිර්මාණය වුණු කම්කරු පන්ති ව්‍යාපාරය ගොඩනැගුණෙ. 71, 89 අරගල දක්වාම එය බලපානවා. ඒ කෙසේ වුණත් අද දවසේ ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ තත්වය හා ඉදිරි මග කුමක් විය හැකිද කියන එක අනුමාන දෙයක්.

  • කම්කරු ව්‍යාපාරය තුළ පැනනැගුණ අරගල සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද දරන්නෙ?

ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ අරගලය කියන්නේ ස්වයංසිද්ධව පැනනැගුණක්. ඒ කියන්නෙ ඉබේ හට ගැනුණ කියන එක. එහෙම වෙන්නෙ පීඩනය, මර්දනය වැනි දරාගත නොහැකි දේවල් සමග. ප‍්‍රශ්නය වෙන්නෙ මේ අරගල කොහොමද ඉදිරියට අරගෙන යන්නෙ කියන එකත් කොහොමද නායකත්වය දෙන්නෙ කියන එකක්. එහෙමත් නැත්නම් පසුබහිනවා නම් කොහොමද එය කරන්නෙ කියන එක. 1910 – 12 වගේ කාලයේ කරත්තකරුවන්ගේ වර්ජනය කියල එකක් ඇති වුණා. ඒකට නායකත්වය දුන්නෙ සර් ජෝන් කොතලාවලගෙ තාත්තා. ඊළගට ලොන්ඩි‍්‍ර කම්කරුවන්ගෙ වර්ජනය, මුද්‍රණකරුවන්ගෙ වැඩ වර්ජනය, දුම්රිය කම්කරුවන්ගෙ වැඩ වර්ජනය, ට‍්‍රෑම් කාර් රියැදුරන්ගෙ වැඩ වර්ජනය වගේ වර්ජන මාලාවකුත් ආවා. මේවා ටිකක් ඉදිරියට එන්නෙ ඒ.ඊ. ගුණසිංහ නායකත්වය දෙන කාලයේ. නමුත් මුල් කාලීන අරගලවලට දේශපාලන නායකත්වයක් තිබුණෙ නැහැ.

  • වාමාංශික දේශපාලනය මෙයට අදාළ වෙන්නෙ කොහොමද?

ලංකාවේ කම්කරුවන් අතර දේශපාලන නායකත්වය ගන්නෙ වාමාංශික ව්‍යාපාරය ආරම්භ වීමත් එක්ක. මේ කාලයේ මාක්ස්වාදී දේශපාලන න්‍යාය උගන්වන්න පටන් ගත්තා. ඒක ඉගෙන ගත්ත කම්කරු නායකත්වයක් හැදෙනවා වෘත්තීය සමිති තුළ. මමත් 1967 විශ්වවිද්‍යාලයට යන්නෙ නැතුව කම්කරු සමිතිය සංවිධානය කළා. එතන දි මම උත්සාහ කළා කම්කරුවො අතරින් යම් සංවේදී පිරිසක් එක්ක මාක්ස්වාදී න්‍යාය පිළිබද සාකච්ඡුාවක් කරන්න. ජවිපෙට වැල්ලවත්ත රෙදි මෝලෙ ලොකු බේස් එකක් හැදෙන්නෙ මේ නිසා.

  • මේ කම්කරු ව්‍යාපාර ඉතිහාසයේ සංධිස්ථානයක් විදිහට ඔබට දක්වන්න පුළුවන් කුමක්ද?

ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ එක ටර්නිං පොයින්ට් එකක් තමයි ඒ.ඊ. ගුණසිංහගේ සම්ප‍්‍රාප්තිය. ඒ.ඊ. ගුණසිංහ පළමු වරට පක්ෂයක් හදනවා. ඒකෙ නමත් කම්කරු පක්ෂය. ඩොනමෝර් කොමිසම් සභාව ගෙනල්ලා ප‍්‍රතිසංස්කරණ ගෙනාපු වෙලාවෙ ලංකාවට ස්වරාජ්‍යය කොහොමද ලබා ගන්නෙ කියන පැත්තෙන් තමයි එයාගෙ දේශපාලනය යොමුව තිබුණෙ. නමුත් එයා කම්කරු ව්‍යාපාරයට නායකත්වය දෙමින් එයාගෙ බේස් එක හදා ගන්නවා. තව එකක් තමයි එයාට බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයත් එක්කත් සම්බන්ධයක් තිබුණා.

  • මේ කාලය වෙනකොට ලංකාවේ වාමාංශික දේශපාලන අධ්‍යාපනය මොන වගේ මට්ටමකද තිබුණෙ?

මේ වෙද්දි ලංකාවේ වාමාංශික අධ්‍යාපනය ලබන කොල්ලො ලන්ඩන්වල ඉගෙන ගන්නවා. ඒ.ඊ. ගුණසිංහ වෘත්තීය සමිති ව්‍යාපාරය හදද්දී වැල්ලවත්ත රෙදි මෝලත් ට‍්‍රෑම් කාර් කම්කරුවනුත් වරාය කම්කරුවනුත් කොළොන්නාවෙ ආණ්ඩුවේ කර්මාන්ත ශාලාවේ කම්කරුවොත් ඒකාබද්ධ කළ වෘත්තීය සමිතියක් තමයි හදන්නෙ.

  • නමුත් මේ දේශපාලනකි‍්‍රයාවලියෙදි ජාතිකවාදයත් මතු වෙමින් එනව නේද?

ඒ.ඊ. ගුණසිංහ කියන්නෙ වාම කම්කරු දේශපාලනයක් නියෝජනය කරපු කෙනෙක් නෙමෙයි. ඔහුට තිබුණෙ ධනේශ්වර චින්තනයක්. හැබැයි ඒ තුළත් එයා කම්කරු පන්තියේ අයිතිවාසිකම් ගැන කතා කරමින් හිටියා. ඒ තුළ හැඩ ගැහිල එනවා වර්ගවාදය. එයාට කොහෙත්ම උඩරට වතු කම්කරුවන් එක්ක සම්බන්ධකමක් තිබුණෙ නැහැ. එක පැත්තකින් හින්දු ජාතික ව්‍යාපාරය කි‍්‍රයාත්මක වෙමින් තියෙද්දි අනෙක් පැත්තෙන් ධර්මපාලතුමා වගේ අය ඒකට කවුන්ට් කරගෙන සිංහල ජාතිවාදය අරගෙන ගියා. ඒ.ඊ. ගුණසිංහ ලිබරල් චින්තනයක් තිබුණ කෙනෙක් විදිහට කම්කරු පක්ෂයෙන් පාර්ලිමේන්තුවටත් ගියා. නමුත් එයාගෙ නරක ප‍්‍රවණතාවක් වුණේ සම සමාජ ව්‍යාපාරයත් එක්ක ගැටුමක් ඇති කරගැනීම. 1930 ගණන්වල මුල දි පිලිප් ගුණවර්ධන, එන්.එම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ වගේ ලංකාවෙ මධ්‍යම පාන්තික පවුල්වල දරුවො වැඩිදුර අධ්‍යාපනය ලබන්න යුරෝපයට ගියා. ඔවුන් යුරෝපයේ කොමියුනිස්්ට් ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ අය ලංකාවට ඇවිත් දකුණු කොළඹ තරුණයන්ගේ සමිතිය නමින් සමිතියක් හදා ගන්නවා. ලංකාවේ සූරියමල් ව්‍යාපාරය හැදුවෙ මේකෙන්. සූරියමල් ව්‍යාපාරය කියන්නෙ මාක්ස්වාදී සාහිත්‍යය. මාක්ස්වාදී අධ්‍යයන ව්‍යාපාරය ආරම්භ කරන්නේ මේ සමිතිය ම`ගින්.

  • කම්කරු ව්‍යාපාරය තුළ වෘත්තීය සමිති හැදෙන්නෙ කොහොමද?

වැල්ලවත්ත රෙදි මෝලෙ තමයි ලංකාවෙ ප‍්‍රථම වරට වාමාංශික දේශපාලන සංවිධානයක් විසින් වෘත්තීය සමිති සංවිධානය කරන්නෙ. වැල්ලවත්ත රෙදි මෝලෙ වතු කම්කරුවො වගේම වහලූන් වගේ ගෙන්න ගත්ත කම්කරුවොත් හිටියා. ඒ.ඊ. ගුණසිංහ වැඩි වශයෙන් සිංහල කම්කරුවන්ට අවධානය යොමු කිරීමත් එක්ක සෙසු කම්කරුවො අතර විශ්වාසය බිද වැටීමක් තිබුණා. මේ හේතුවෙන් වැල්ලවත්ත රෙදි මෝලෙ ලංකා සම සමාජයට බේස් එක හැදෙනවා. මොකද ඔවුන් ප‍්‍රකාශ කළේ සකල දේශවාසී කම්කරුවනි කියලා. මේ විදිහට ආගම් භේදයෙන් ජාති භේදයෙන් වර්ග භේදයෙන් තොරව කම්කරු ව්‍යාපාරය ගොඩනැ`ගුණේ මුලින්ම වැල්ලවත්ත රෙදි මෝලෙන්. ඊළගට 1947 මහා වැඩ වර්ජනයෙ දි කම්කරු නායක කන්දසාමි වෙඩි පහරකින් මැරෙනවා. මේ වෙද්දි ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය තුළ තිබුණු විවාදයක් තමයි ට්‍රොට්ස්කිවාදය සහ ස්ටාලින්වාදය. මේක ලංකාවේ සම සමාජය භාර ගත්තෙ ට්‍රොට්ස්කිවාදී මතයෙන්. ට්‍රොට්ස්කිවාදී මතය විදිහට කියවුණේ දෙවැනි ලෝක යුද්ධය කියන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයක්, ඒ නිසා අපිට ඒකෙ වැඩක් නැහැ, අපි පන්ති අරගලය දිගටම කරගෙන යන්න අවශ්‍යයි කියන දේ. කොමියුනිස්ට් පක්ෂය ඊට ටිකක් වෙනස් මතයක් දැරුවා. ඔවුන් ළැදිව හිටියෙ රුසියාවට.

  • වමේ පක්ෂ කම්කරු ව්‍යාපාරයත් එක්ක එක තැනකට කේන්ද්‍රගත නොවෙන්නෙ ඇයි?

ලංකාවේ කම්කරු ව්‍යාපාරයට අවශ්‍යතාවක් තිබුණා. වමේ පක්ෂත් එක්ක සමගි සන්ධානයකට යන්න. ඒ සදහා නායකත්වයට එයි කියලා බලාපොරොත්තුවකුත් තිබුණා. 1960 මාර්තු මැතිවරණයෙන් ප‍්‍රකාශ වුණේ ඒක. ඒ වෙලාවේ කම්කරු පන්තියේ හඩට කන්දීලා සුළු ප‍්‍රතිචාරයක් දැක්වූවා නම් වමේ පක්ෂ 1960 ජූලි මැතිවරණයෙන් වාමාංශික සන්ධානයක් වශයෙන් මැතිවරණයට යා යුතුව තිබුණා. නමුත් මෙයාලා කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ගිවිසුමකට ගිය එක. ඒ මගින් ඔවුන් ආසන 46, 75 ක් කරගත්තා. අන්තිමට ඇමැති කුට්ටම් දෙකහමාරකට පාවා දුන්නා කියන්නෙ මේ නිසා. මේ කාලයේම තමයි වාම තරුණ රැුඩිකල් ව්‍යාපාරය බිහි වෙන්නෙ. අපි ඉන්නෙ එතන. රෝහණ සහෝදරයා මුණ ගැහෙන්නෙ 1964 අගභාගයේ.

  • නමුත් 1963 වාමාංශික එක්සත් පෙරමුණ බිද වැටෙද්දී ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයට ඇති කළ බලපෑම මොන වගේද?

මේ තුළින් සම සමාජ පක්ෂය තුළ ඇති වෙන්නෙ බෙදීමක්. කම්කරු සමිති 4 ක සංවාදයක් මතු වෙනවා. සම සමාජ, කොමියුනිස්ට් සන්ධානයක් තිබුණනෙ. මෙතනදි කල්පනා කළේ බලය ලබාගත යුත්තෙ කෙසේද කියලා. පැරණි සමාජිකයන් කිව්වෙ ඡුන්ද බලය මගින් පාර්ලිමේන්තුව හරහා අපිට බලයට එන්න පුළුවන් කියලා. තව කණ්ඩායමක් කියා හිටියේ, නෑ ලෝක දේශපාලනය තුළ තවමත් ආයුධ සන්නද්ධ අරගලය වලංගු බව. ආයුධ සන්නද්ධ අරගලයක් මගින් තමයි බලය ලබාගත යුත්තේ කියලා. 1960 දශකය වෙද්දි කම්කරු ව්‍යාපාරය හරියට සංවිධානය නොවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඉච්ඡුාභංගත්වයට පත් වුණ අපි වගේ කොටස් සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩන`ගන්න ඕන කියන තැනට නැඹුරුවෙනවා.

  • 1980 ජූලි වර්ජනය ගැන මොන වගේ අත්දැකීමක්ද තියෙන්නෙ?

80’ වර්ජනය කියන්නෙ යූඇන්පී ය වැඩි බලයක් ලබා ගත්ත අවස්ථාවක්. ඒ වෙනකොට කම්කරු ව්‍යාපාරය දුර්වල වෙලා සමහර අය කිව්වා 80 වර්ජනය නොකළ යුතු දෙයක් කියලා. මාර්තු 05 තිබුණු ජාතික විරෝධතාවෙ දි සෝමපාල සහෝදරයට පහර දීල මරනවා. වමේ නායකයන්ගෙ අදහසක් තිබුණා 53 හර්තාලය වගේ ලොකු එකකට යයි කියලා. ජනතාව තුළත් විශ්වාසයක් තිබුණා 53 හර්තාලය වෙලාවෙ වගේ වමේ නායකත්වයක් ගැන.

  • මේ අරගලය බිද වැටෙන්න හේතු වුණේ මොකක්ද?

විශේෂයෙන්ම සභාග දේශපාලනයට යාම තමයි හේතුව. ධනපති ආණ්ඩුවට ගිහිල්ල මැති ඇමැතිකම් අරගෙන සමාජවාදය ගොඩනගනවා කියලා බොරු කිව්වා. අන්තිමට ඔවුන්ටම සිද්ධ වෙනවා කම්කරුවන් මර්දනය කරන්න.

  • මෙතනදි වමේ නායකයන්ට අවශ්‍ය වෙලා තිබුණා කියල ඔබ විශ්වාස කරන්නෙ මොකක්ද?

කම්කරු පන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරනවා වෙනුවට ඔවුන්ට අවශ්‍ය වුණේ යූඇන්පී විරෝධී ආණ්ඩුවක් පිහිටුවන්න.

  • මේ අරගලයට බාලා තම්පොගේ විරෝධයකුත් තිබුණා නේද?

ඔව්. බාලා තම්පෝ 80 වර්ජනය හදිසියේ පැමිණීම ගැන විවේචනයක් කළා. ඒ අය 80 වර්ජනයට සම්බන්ධ වෙන්නෙ නැහැ. නමුත් වැඩ වර්ජනය කඩාකප්පල් කළෙත් නෑ. මාර්තු 05 සංකේත වැඩ වර්ජනයට එකතු වුණු නිසා රත්මලාන දුම්රිය කම්කරුවන් වැඩ තහනමකට ලක් වෙනවා. මේකට විරුද්ධව තමයි ඊළග වැඩ වර්ජනය පටන් ගන්නෙ. කොහොම වුණත් ජාතික විරෝධතා දිනය නොකළ යුතුයි කියල කියන්නත් බැහැ. මේකට සහභාගී වීම නිසා දුම්රිය කම්කරුවන්ගේ වැඩ තහනම් කිරීම හරි කියන්නත් බැහැ. දුම්රිය කම්කරුවන්ගේ වැඩ තහනම් කරල තියෙද්දි කම්කරු ව්‍යාපාරය නිශ්ශබ්දව හිටිය කියල කියනව නම් ඒකත් වැරැදියි. කොහොම වුණත් මෙතනදි කම්කරු ව්‍යාපාරය මට්ටම් කරල දැම්මා. ඒ වැටිච්චි වැටිල්ල තාමත් නැගිට ගන්න බැරුව ඉන්නෙ.

  • වමේ දේශපාලනය විසින් කම්කරු පන්තිය අරබයා කළ යුත්තේ කුමක් කියලද ඔබ අදහස් කරන්නෙ?

කරන්න ඕනෙ කම්කරු පන්තිය වෙනුවෙන් සටන් කිරීම නෙමෙයි, කම්කරු පන්තිය සටන් සමග එක් කිරීමයි. කම්කරු පන්තිය එතනට ගෙනඒම සදහා විශ්වාසය ගොඩනගන්න ඕන.