தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
ජාත්‍යන්තර සංවිධානවලින් ආණ්ඩුවේ වැඩසටහන්වලට දිගටම ආධාර අවශ්‍යයි - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාත්‍යන්තර සංවිධානවලින් ආණ්ඩුවේ වැඩසටහන්වලට දිගටම ආධාර අවශ්‍යයි – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන



දීර්ඝ කාලයක් පුරා ශ‍්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලබාදෙන සහය අගය කරන බවත් ඉදිරියේදී වඩාත් පුළුල් ක්ෂේත‍්‍ර රැසක් ඔස්සේ එම සහයෝගිතාව ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

රජය විසින් රට තුළ කි‍්‍රයාවට නංවා තිබෙන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ දිවයිනේ පළාත් නවයම එක සමාන සංවර්ධනයකට ගෙන එමින් රටේ සියලු ජනතාවට සංවර්ධනයේ සම ප‍්‍රතිලාභ ලබාදීම තම අරමුණ බවයි. අගෝස්තු 5 වැනිදා ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ එම නියෝජිතයන් අතර පැවැත්වුණු  හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙම අවස්ථාවට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය(JICA), ලෝක බැංකුව(IBRD), ආසියානු සංවර්ධන බැංකුව(ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (KOICA) වැනි ප‍්‍රධාන ජාත්‍යන්තර ආයතන රැසක නියෝජිතයෝ පැමිණ සිටියහ. ලංකාවට විවිධ මට්ටම්වලින් ණය ආධාර සපයන මෙම ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයන් තවදුරටත් ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාදාමයට සහාය දක්වන බවද සංවර්ධනයේත්, සංහිඳියාවේත් අරමුණු ජය ගැනීමේදී ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ කටයුතුවලට තම උපරිම සහයෝගය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

යුද්ධය හේතුවෙන් විනාශයට පත් වූ උතුරු නැගෙනහිර ප‍්‍රදේශ සංවර්ධනය කරා ගෙන යමින් එම ජනතාවට ද සංවර්ධන අයිතීන් ලබාදීම වෙනුවෙන් රජය ප‍්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ජනතාවගේ පානීය ජල ගැටලු විසඳීම වැනි යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා රජය ගෙන යන වැඩපිළිවෙළේදී තවදුරටත් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනවල සහය අපේක්ෂා කරන බව කියා සිටියේය.

උතුරු නැගෙනහිර අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු 88‍% ක් මේ වන විට අවසන් කර තිබෙන අතර, ඉතිරි 12‍% ද කඩිනමින් සම්පූර්ණ විය යුතුය යන අරමුණ ඇතිව රජය කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීමට මෙන්ම මත්ද්‍රව්‍ය උවදුර පාලනය වෙනුවෙන් ද රජය විශේෂ අවධානයක් යොමු කර වැඩසටහන් රැසක් දියත් කර තිබෙන බව සඳහන් කළේය.

අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී මෙම නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.