தமிழ்
English
Contact
Saturday 26th May 2018    
අගමැති හෙට බැදුම්කර වංචාව පිළිබද විමර්ශන කොමිසම හමුවට කැදවයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අගමැති හෙට බැදුම්කර වංචාව පිළිබද විමර්ශන කොමිසම හමුවට කැදවයි !



මහබැංකු බැදුම්කර වංචාව පිළිබද  විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණ සාක්ෂි දෙන ලෙස කළ දැනුම්දීම අනුව අගමැති රනිල් වික්‍රමසිංහ හෙට(20) එම කොමිසම හමුවට පැමිණීමට නියමිතය.
පසුගිය 16 වැනිදා මෙම කොමිසම සදහන් කර තිබුණේ තමන් යොමුකළ පළමු ප්‍රශ්නාවලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිවුරුම් ප්‍රකාශයකින් පිළිතුරු සපයා ඇති බවයි. මේ අතර,  පැවති විශේෂ සාක්ෂි විමසීමේදී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකථන විශ්ලේෂණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක යසන්ක ජයසිංහ සාක්ෂි ලබාදීමෙන් ආන්දෝලනාත්මක කරුනු හෙළිදරව් විය.
ඔහු ඉදිරිපත් කළ සන්නිවේදන දත්ත විශ්ලේෂණ වාර්තාවේ දැක්වෙන්නේ 2015 වසරේ පෙබරවාරි මාස 25 වනදින පැවති ප්‍රශ්න ගත බැදුම්කර නිකුතුව අවසන් වී ටික වේලාවකට පසු එවක මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අග්‍රාමාත්‍යවරයාට දුරකථන ඇමතුම් දෙකක් ලබාදී ඇති බවයි. එම දිනයේදී අමාත්‍ය සාගල රත්නායක, එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ලංකා බැංකුවේ සභාපති රොනල්ඞ් පෙරේරා සහ අර්ජුන් මහේන්ද්‍රන් අතර ඇමතුම් සහ කෙටි පණිවුඩ හුවමාරු වී ඇති බව සාක්ෂිකරු පෙන්වා දී ඇත. ඊට අමතරව, ඔහු කියා සිටියේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන් මහේන්ද්‍රන් අතර ද දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවයි. ඉන් 15 ක්ම හිටපු මහබැංකු අධිපතිරවයාගේ දුරකථනයෙන් ලබා ගත් ඒවා බව ද ඔහු ප්‍රකාශ කළා. සාක්ෂිකරුට අනුව ඇමතුම් 8 ක් කාර්යාල වේලාවෙන් පිටතදී හුවමාරු වී ඇති අතර දෙදෙනා අතර හුවමාරු වූ කෙටි පණිවුඩ ගණන 7 කි. බැදුම්කර සිද්ධියේදී සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් ලන්සු තැබීමේ අවසන් තීරණය ගත් ඉන්දික සමන්කුමාර හා අර්ජුන් මහේන්ද්‍රන් අතර ද ඇමතුම් 30 ක් හුවමාරු වී ඇති බව අද කොමිසමේදි හෙළි විය.  ඇතැම් ඇමතුම් හුවමාරු වී ඇත්තේ බැදුම්කර වෙළදපොල පිළිබදව ඉතා රහසිගත තොරතුරු අනාවරණය කෙරෙන මහබැංකුවේ හමුවීම් පැවති දිනවලදී බව රජයේ නීතිඥවරයා කියා සිටියේය.
බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ 8 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ අර්ජුන් ඇලෝසියස් අතර ද දුරකථන සංවාද සිදුව තිබූ බව සාක්ෂිකරු එදින අනාවරණය කළේය. හෙට දින අගමැතිවරයාගෙන් සාක්ෂි විමසන අවස්ථාවේදී දුරකථන පනිවිඩ හුවමාරු  කිරීම් සම්බන්ධව ප්‍රශ්නය සාකච්ඡාවට ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.