தமிழ்
English
Contact
Monday 17th June 2019    
ආණ්ඩුව, ඛේදවාචකය පාවිච්චි කරමින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනයට සූදානම්! - අ.වි.ශි.බ.ම. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව, ඛේදවාචකය පාවිච්චි කරමින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනයට සූදානම්! – අ.වි.ශි.බ.ම.



අප්‍රේල් 21 වැනිදා අන්තවාදී ප්‍රහාරය නිසා බොහෝ දෙනා අනතුරට පත්කරමින් බලා හිදි දේශපාලන නායකත්වය මේ වනවිට එම ඛේදවාචකයේ කම්පනය පාවිච්චි කරමින් මැතිවරන ජයගැනීමේත් මර්දනය තීව්‍ර කිරීමේත් දේශපාලන ව්‍යාපෘතියක නිරතවන බව අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

අන්තවාදී ප්‍රහාරයෙන් පසු සිදුවෙමින් පවතින ක්‍රියාදාමය පිළිබද අදහස් දක්වන්නට අද(5) කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් අ.වි.ශි.බ.ම. කැදවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙනිය ප්‍රකාශ කළේ මේ වනවිට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලකයන් ඛේදවාචකයෙන් දේශපාලන වාසි ගැනීමටත් අනෙක් පැත්තෙන් ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු ජනතා බලවේග මර්දනයටත් පියවර ගනිමින් සිටින බව පෙන්වා දෙයි.

ඇමතිවරු පාසල් විවෘත කිරීමට උපදෙස් දෙන්නේ මවුපියන්, ආදි ශිෂ්‍යයන් හා ගුරුවරු විසින් ආරක්ෂාව සලසා ගැනීමට පියවර ගත යුතු බව පවසමින් ලක්ෂ ගණන් පාසල් දරුවන් සිටින පාසල්වල ආරක්ෂාව පිළිබද වගකීමක් නැතිව ආණ්ඩුව කටයුතු කරන බව මහිල් බණ්ඩාර චෝදනා කරයි. එසේම පාසල් ආරක්ෂා කරන්න පොලිසි නිලධාරින් ප්‍රමාණවත් පිරිසක් නැති නිසා
දහස් ගණන් දරුවන් ඉන්න පාසලකට එක් පොලිස් නිලධාරියෙක් පමණක් කැදවන බව කියන නමුත් ඇමතිවරු ආරක්ෂා කිරීමට පොලිස් නිලධාරින් දුසිම් ගණනක් යොදවන බව ඔහු පෙන්වා දෙයි.
අ.වි.ශි.බ.ම. කැදවුම්කරු තවදුරටත් මෙසේ පැවසීය.

“මේ වනවිට සරසවි ශිෂ්‍ය ප්‍රජාව වෙත මර්දනය කැදවමින් ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මකවන බව අ.වි.ශි.බ.ම. අනාවරණය කරයි. මැයි 3 වැනිදා යාපනයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවලත් 4වැනිදා රුහුණ විශ්ව විද්‍යාලයේත් සෝදිසි මෙහෙයුම්වලදී සිදුව ඇත්තේ එම මර්දනකාරිත්වය හෙළිවන තත්වයකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෝදිසිය ආරම්භ කරන්නට පෙර උඵකුලපතිවරයා විසින් එම කාර්ය නිරීක්ෂනයට ශිෂ්‍ය සංගම්වල නියෝජිතයන් සහභාගි කරවීමට උපදෙස් දී තිබුණු අතර ශිෂ්‍ය නියෝජිතයෝ එහිදී ආරක්ෂක අංශවලට සහාය ලබා දුන්හ. නමුත් සේනක බිබිලේ නේවාසිකාගාරයේ සෝදිසි කටයුතු ශිෂ්‍ය නියෝජිතයන් නොමැතිව සිදුකරන ලදී. එහිදී ශිෂ්‍යයන් 400ක් පමණ් සිටින නේවාසිකාගාරයේ එක් එක් සිසුන් වෙත තිබුණු හමුදා ඇදුමට සමාන ටීෂර්ට් කිහිපයක් එක් තැනක ගොඩගසා තිබිණි. නේවාසිකාගාරයේ සිසුවකු වෙත තිබුනු වෝකි ටෝකි යන්ත්‍ර දෙකක්ද ඒ සමග දමා ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කළේ අන්තවාදි තිප්පොලක් වටලා භාණ්ඩ සොයාගත් ආකාරයෙනි. හන්තාන කදුතරණය වැනි අවස්ථාවල සිසුන්ගේ ආරක්ෂාවට හා මගපෙන්වීමේ කටයුතුවලට මෙවැනි උපකරණ නිතර භාවිතවන බව විශ්ව විද්‍යාල ප්‍රජාවට රහසක් නොවේ.

මේ අකාරයෙන් ආරක්ෂක අංශ යොදවා ශිෂ්‍ය නේවාසිකාගාර අන්තවාදි ස්ථාන ලෙස ප්‍රචාරය කිරීමට ආණ්ඩුව උත්සාහ කරයි. එවැනිම සිදුවීමක් රුහුණ විශ්ව විද්‍යාලයේදී සිදුව තිබේ. ශිෂ්‍ය ශිෂයාවන් පිටතට යවා ආරක්ෂක අංශවල සාමාජිකයන් යොදවා විශ්ව විද්‍යාලය පරික්ෂා කිරීමටත් වසා දමා තිබුණ ශිෂ්‍ය සංගම් කාර්යාලයේ දොරවල් කඩා ඇතුළු වී එහි වූ ලිපි ලේඛන පිටපත් රැගෙන යාමටත් ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි. එම ශිෂ්‍ය සංගම් කාරියාලයේ ශිෂ්‍ය නියෝජිතයන්ගේ තොරතුරු, නම් හා ලිපින සහිත ලේඛන, අ.වි.ශි.බ.ම. සභාවාරවල වාර්තා ආදිය ආරක්ෂක අංශ ගෙන ගොස් ඇති බවද අනාවරණය වී ඇත. උපකුලපතිවරයා මෙසේ හොර රහසේ ශිෂ්‍ය සංගම් කාර්යාලය පරික්ෂා කිරිමට ආරක්ෂක අංශවලට සහායවී ඇත්තේ ආණ්ඩුවේ මර්දනය ක්‍රියාතමක කිරීමේ පියවරක් ලෙසය. අන්තවාදය මර්දනය කිරීමේ මුවාවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය තලා දැමීමද ආණ්ඩුවේ අරමුණක් බව පැහැදිලිය. මේ හා සමානව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත්තේ ප්‍රභාකරන්ගේ ඡායාරූප ළග තබාගත් බවට චෝදනා කරමිනි. එහෙත් දකුණේ මෙන්ම උතුරේ ජනතාවට තමන් වීරයන් ලෙස පිළිගන්නා පුද්ගලයන් සිටින බව අමතක කළ යුතු නැත. උතුරේ වේවා දකුණේ වේවා තමිල් ජනතාව ප්‍රභාකරන්ගේ ඡායාරූප තබාගෙන සිටින බව රහසක් නොවේ. ප්‍රභාකරන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබද එකගතාවක් අ.වි.ශි.බ.ම.යට නැති නමුත් එවැනි විරුද්ධ මත දරන්නන් මර්දනය කිරීමට සපුරා විරුද්ධ බවද කිවයුතුය. විශේෂයෙන් දකුණේ ජනතාව අතරද විශේෂයෙන් ජනමාධ්‍ය ආයතනවල පවා ප්‍රභාකරන්ගේ ඡායාරූප තබාගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි. “

ශිෂ්‍ය ව්‍යාපාරය අන්තවාදී ප්‍රචණ්ඩත්වය සපුරාම හෙළා දකින බවත් ආණ්ඩුව විසින් ජනතාව මර්දනය කරමින් අන්තවාදය තහවුරු කිරීමට ගන්නා පියවර ඒ ලෙසින්ම හෙළා දකින බවත් එහිදී ප්‍රකාශ විය. කෙසේවෙතත් මෙවැනි මෙහෙයුම් නිසැක ලෙසම ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමේ ආණ්ඩුවේ අරමුණ හෙළිදරව් කරන බවත් මේ සම්බන්ධ දැඩි ලෙස විරෝධය පළ කරන බවත්
අ.වි.ශි.බ.ම. කැදවුම්කරු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ආණ්ඩුව විසින් අප්‍රේල් 21 ප්‍රහාරයේ ඛේදවාචකය පාවිච්චි කරමින් ප්‍රති ත්‍රස්ත පනත වැනි නව මර්දන නීති ගෙන එන්නටත් ඒ හරහා කම්කරුවන්, ගොවියන්, ශිෂ්‍යයන්, රැකියා විරහිත තරුණයක් ඇතුළු ජනතා බලවේග මර්දනයට සූදානම්වන බැවින් එය හදුනාගෙන මෙම තත්වය පරාජය කරන්න පෙළ ගැසෙන ලෙස ශිෂ්‍ය ප්‍රජාව, මව්පියන් ඇතුළු සියලු ජනතා බලවේගවලින් ඉල්ලා සිටින බවද අ.වි.ශි.බ.ම. කැදවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙනිය ප්‍රකාශ කළේය.