தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ගෝලීය කොමියුනිස්ට්වාදයද නැතිනම් කැළෑ නීතියද? - ස්ලැවොයි ජිජැක් (පරිවර්තනය) | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝලීය කොමියුනිස්ට්වාදයද නැතිනම් කැළෑ නීතියද? – ස්ලැවොයි ජිජැක් (පරිවර්තනය)



කොරෝනා වයිරසය (Covid 19) විසින් ලොව පුරා ව්‍යාප්ත කළ වසංගත තත්වය හා එයින් ආරම්භ වී ඇති අර්බුදකාරී සමාජ දේශපාලන වියවුල විග්‍රහ කිරීමට සුප්‍රකට වාමාංශික දේශපාලන විශ්ලේශකයකුවන ස්ලැවෝයි ජිජැක් විසින් ලියන ලද ලිපි කිහිපයක් අවධානයට ලක් විය. ‘ලංකාවීව්ස්‘ වෙබ් අඩවිය විසින් මෙසේ පළ කරනු ලබන්නේ Slavoj Zizek: Global communism or the jungle law, coronavirus forces us to decide (ගෝලීය කොමියුනිස්ට්වාදයද නැතිනම් කැළෑ නීතියද? කොරෝනා වයිරසය, අපට තීරණ ගැනීමට බල කරයි.) යන මාතෘකාවෙන් ඔහු විසින් පළ කළ අදහස්වල සම්පූර්ණ සිංහල අනුවාදයයි.

(උපුටා පළ කිරීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

කොරෝනා වයිරසය නිසා භීතිකාව පැතිර යත්ම, අපට අවසන් තෝරාගැනීමක් සිදුකරන්නට සිදුවේ- එක්කෝ උචිතයා පමණක් දිවි ගලවාගැනීමේ කෘරතම තර්කණය සම්මත කරගත යුතුය. එසේ නැතිනම් අප තෝරාගත යුත්තේ ගෝලීය වශයෙන් සම්බන්ධීකරණය කරමින් හා අනුග්‍රාහකත්වය පිරිනමමින් යම් ආකාරයකින් පුනර්ජනනය කළ කොමියුනිස්ට්වාදයයි.

අපගේ මාධ්‍ය විසින් ‘බිය නොවන්න!“ යන මන්ත්‍රය කෙළවරක් නැතිව නැවත නැවත ජප කරමින් සිටී. එහෙත් ඊළඟට අපට වාර්තා කරනු ලබන්නේ අන් කිසිවක් නොව, භීතිය උපදවන දේමය. මෙය, මා තරුණ කාලයේ කොමියුනිස්ට් රටකදී ඇති වූ මේ හා සමාන තත්වය යළි මගේ මතකයට නංවයි: රජයේ නිලධාරීන් විසින් බියවීමට කිසිදු හේතුවක් නැති බව ජනතාව වෙත සහතික වන විට, ඔවුන්ද බියෙන් පසුවන බවට වූ සංඥාවක් ලෙස අපි එය භාර ගත්තෙමු.

භීතියෙන් කාලය නාස්තිකිරීම ඉතා බරපතළය

භීතියට එහිම වූ තර්කණයක් ඇත. එක්සත් රාජධානියේදී කොරෝනා වයිරසය නිසා ඇති වූ භීතිය හේතුවෙන් වැසිකිලි කඩදාසි රෝල් වෙළඳසල් තුළින් අතුරුදන්වීම මට සිහිපත් කළේ තරුණ කාලයේ මා ජිවත් වූ සමාජවාදී යුගෝස්ලාවියාවේදී සිදුවූ වැසිකිලි කඩදාසි සම්බන්ධ සිදුවීමකි. එක්වරම, වෙළඳසල්වල ප්‍රමාණවත් වැසිකිලි කඩදාසි නොමැති බවට කටකථාවක් පැතිරෙන්නට විය. බලධාරීන් වහා ප්‍රතිචාර දක්වමින් ප්‍රමාණවත් තරම් වැසිකිලි කඩදාසි ඇති බවට තහවුරු කරන ලදී. එය පුදුම සහගත ලෙස සත්‍යයක් නොවූවා වුවත් බොහෝ පිරිසක් එය සත්‍ය බවත් පිළිගත්හ.

කෙසේවෙතත්, සාමාන්‍ය පාරිභෝගිකයා එය තේරුම් ගත්තේ මෙසේය: ‘ප්‍රමාණවත් තරම් වැසිකිලි කඩදාසි තොග ඇති බව මම දනිමි, කටකථාව බොරුවකි. එහෙත්, ඇතැමුන් භිතියට පත්වීමෙන් එය බරපතළ ලෙස ගණන් ගෙන වැසිකිලි කඩදාසි රැස්කරගනු පිණිස අධික ප්‍රමාණයෙන් මිලදී ගනු ඇත. එයින් වැසිකිලි කඩදාසි හිඟයක් ඇති වේ. එනිසා මමත් ඉක්මණින් ගොස් වැසිකිලි කඩදාසි රැස්කර ගත යුතුය.‘
අනෙක් අය කටකථාව බරපතළ ලෙස බාරගනු ඇතැයි විශ්වාස කිරීමේ අවශ්‍යතාවෙක් පවා නොවීය. කටකථාව සත්‍ය ලෙස පිළිගනු ලබන යම් අයෙක් සිටිනු ඇතැයි යන පූර්ව නිගමනය පමණක් ප්‍රමාණවත් විය. ප්‍රතිඵලය එකමය, එනම්, සැබැවින්ම වෙළඳසල්වල වැසිකිලි කඩදාසි හිඟයක් ඇති විය. අද දවසේ බ්‍රිතාන්‍යයේත් (කැලිෆෝනියාවේත්) සිදුවන්නේද එවැනි දේ නොවේද?
මේ ආකාරයේ අධික භිතිකාවක් ඇතිවීම හා සම්බන්ධ එහිම ප්‍රතිපක්ෂය වන්නේ එම බියපත්වීම සම්පූර්ණයෙන් සාධාරණීකකරණය කෙරෙන ආකාරයෙන් පවතින ‘බියක් නොමැතිකම‘යි. පසුගිය වසර කිහිපය තුළ, සාර්ස් සහ එබෝලා වැනි වසංගත හේතුවෙන් අපට නැවත නැවත පවසනු ලැබුවේ අලුත් වඩා බලවත් වසංගත යනු හුදෙක් කාලය පිළිබඳ ප්‍රශ්නයක් බවයි. ඒ වසංගත පැමිණීමේ ප්‍රශ්නය අදාළ වන්නේ ‘පැමිණිමේ සම්භාවිතාව‘ පිළිබඳ කරුණක් ලෙස නොව ‘පැමිණෙන්නේ කවදාද?‘ යන්න අනුව බවයි. මෙම දරුණු පුරෝකථනමය සත්‍යයන් විසින් අප තාර්කිකව සෑහීමකට පත්කරනු ලැබූවද, අප ඒවා බරපතල ලෙස භාරගෙන නැත. එම පුරෝකථනවලට අදාළව නිවැරදි හා වගකීම් සහගත සූදානම් වීමක් අප සිදුකර නැත. අප එසේ කටයුතු කර ඇත්තේ Contagion වැනි අභාවාචකවාදී චිත්‍රපටවලදී පමණකි.
මෙම වෙනස්කම විසින් පවසනු ලබන්නේ බියපත්වීම, සැබෑ තර්ජනයකට මුහුණ දීමේදී සුදුසු ආකාරය නොවන බවයි. අප බියපත්ව ප්‍රතික්‍රියා දැක්වීමෙන් එම තර්ජනයේ වගකීම නිසි ලෙස භාර නොගනී. ඒ වෙනුවට සිදුවන්නේ තර්ජනය සුළුකොට තැකීමකි.

වැසිකිලි කඩදාසි අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික ලෙස මිලදී ගැනීම කෙතරම් විකාර සහගතදැයි සිතා බලන්න: මාරාන්තික වසංගතයකට මුහුණ දීමට නම් අවශ්‍ය තරම් වැසිකිලි කඩදාසි තබාගත යුතු යැයි සිතුවා වැනිය. එසේ නම්, කොරොනවයිරස් වසංගතය සඳහා වන සුදුසුම ප්‍රතික්‍රියාවක් වනු ඇත්තේ කුමක්ද? එයට වගකීම් සහගත ලෙස මුහුණදීමේදී අප විසින් උගත යුත්තේ සහ අප කළ යුත්තේ කුමක්ද?

කොමියුනිස්ට්වාදය යනුවෙන් මා අදහස් කරන්නේ කුමක්ද?

කොරොනවයිරස් වසංගතය විසින් කොමියුනිස්ට්වාදයට අලුත් ප්‍රාණ ශක්තියක් දෙනු ඇතැයි මා පැවසූ විට, අපේක්ෂා කළ ආකාරයටම එය උපහාසයට ලක් විය. මෙම අර්බුදය සම්බන්ධයෙන් චීන රජය විසින් ගන්නා ලද තදබල එළඹුම සාර්ථක වූ බව පෙනී ගියද, අඩුතරමින් එය දැන් ඉතාලියේ සිදුවන දේට වඩා යහපත්ය, බලයේ සිටින කොමියුනිස්ට් පක්ෂයේ පැරණි අධිකාරිවාදී තර්කනය පැහැදිලි ලෙසම එහි සීමාවන් පෙන්නුම් කරයි. එහි එක් කරුණක් ලෙස බලධාරීන්ට (සහ ජනතාවට) නරක ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට ඇති බිය විසින්, සත්‍ය ප්‍රතිඵල ඉක්මවා යයි. වාර්තා වූ ආකාරයට, නව වයිරසයක් සම්බන්ධයෙන් තොරතුරු මුල්වරට හුවමාරු කරගත් අය අත්අඩංගුවට ගැනීමේ හේතුව ගෙස පෙනී යන්නේ එයයි, එමෙන්ම එය දැනටත් ඊට සමාන දේ සිදුවෙන බවට වාර්තා පළ වෙමින් තිබේ.
“කොරොනා වයිරසය හේතුවෙන් අක්‍රිය කෙරුනු චීනය, පීඩනයක් යොදා යළි ක්‍රියාත්මක කිරීමට භාවිතකරනු ලැබුවේ පැරණි උද්වේගයකි: ඉහළ නිලධාරීන්ට දැකීමට අවශ්‍ය දේ පෙන්වීම සඳහා දත්ත වෙනස් කරනු ලැබිණි” යනුවෙන් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි. “නැගෙනහිර වෙරළේ කර්මාන්ත මධ්‍යස්ථානය වන ෂින්ජියැංග් පළාතේදී විදුලිබලය භාවිතය ඇසුරෙන් මෙම ප්‍රවණතාව ක්‍රියාත්මකය. නිෂ්පාදනය නැවත ඇරඹූ බව පෙන්වීමට භාවිතා කළ හැකි දත්ත නිර්මාණය සඳහා අවම වශයෙන් නගර තුනක කම්හල්වලට විදුලි පරිභෝජන ඉලක්ක සපුරන ලෙසට නියෝග දී ඇති බව මෙම කරුනු සම්බන්ධ අවබෝධයක් ඇති ජනතාව පවසති. ඒ නිසාම කම්හල් හිස්ව පවතිද්දීත් යන්ත්‍ර සූත්‍ර ධාවනය කිරීමට සමහර ව්‍යාපාරික ස්ථාන ප්‍රධානින් පෙළඹී තිබෙන බවද ජනයාගේ අදහසයි.” මේ වංචනිකභාවය ගැන බලධාරින් දැනගත් පසු සිදුවනු ඇත්තේ කුමක්ද යන්න අපට අනුමාන කළ හැකිය: කඩකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් වීමෙන් දේශීය කළමනාකරුවන් බරපතල දඬුවම්වලට ලක් විය හැකිය. එයින් අවිශ්වාසයේ විෂම චක්‍රය යළි ඇති කරනු ඇත. වසංගතය සම්බන්ධයෙන් චීනය කටයුතු කරන ආකාරයේ සැඟවුණු පැත්ත අනාවරණය කිරීමට චීනයේ ජුලියන් අසාන්ජ් කෙනෙකු අවශ්‍ය වනු ඇත.
ඉතින්, මගේ විශ්වාසය අනුව කොමියුනිස්ට්වාදය මෙය නොවේ. මා කොමියුනිස්ට්වාදය ලෙස අදහස් කරන්නේ කුමක්ද? එය දැනගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසිද්ධ ප්‍රකාශනය කියවිය යුතුය: මේ එවැනි මෑතම ප්‍රකාශයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රේසස් පසුගිය සතියේ පැවසුවේ, වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේදී සාර්ථක ලෙස කටයුතු කිරීමට ගෝලීය තලයේ මහජන සෞඛ්‍ය සේවා බලධාරීන්ට හැකියාව තිබුණද උද්ගතව ඇති තර්ජනය හා සැසඳීමේදී ඇතැම් රටවල දේශපාලන කැපවීම නොසෑහෙන බව අවධානයට ලක්ව ඇති බවයි. “මෙය ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් නොවේ. මෙය උත්සාහය අත්හැරදැමීමේ අවස්ථාවක්ද නොවේ. එසේම මෙය නිදහසට කාරනා ඉදිරිපත් කිරීමට කාලයක් නොවේ. මෙය සියලු බාධක ඉවත් කළ යුතු කාලයකි. රටවල් විසින් දශක ගණනක් තිස්සේ මෙවැනි අවස්ථා ඇතිවුවහොත් ක්‍රියාත්මක වීමේ සැලසුම් සකස් කරණ ලදී. දැන්, එම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කාලයයි,” ටෙඩ්‍රොස් කියා සිටී. “මෙම වසංගතය මැඩලිය හැකි වන්නේ සාමුහික, සම්බන්ධීකරණය කළ සහ විස්තීර්ණ එළඹුමක් කෙරෙහි සියලුම රාජ්‍ය යාන්ත්‍රණ යෙදවුවහොත් පමණි”

එවැනි විස්තීර්ණ වූ එළඹුමක් තනි රාජ්‍යයන්හි යාන්ත්‍රණයකට ඔබ්බෙන් ඉලක්ක කළ යුතු බව කෙනෙකුට පැවසිය හැකිය: රාජ්‍යයේ පාලනයෙන් පරිබාහිරව ජනතාව ඇතුළත්වන ශක්තිමත් සහ කාර්යක්ෂම ජාත්‍යන්තර සම්බන්ධීකරණයක් සහ අනුග්‍රහයක් ඊට අවශ්‍ය වනු ඇත.
ශ්වසනාබාධ හේතුවෙන් දහස් ගණනක් රෝහල්ගත කෙරෙන අවස්ථාවකදී, ශ්වසන යන්ත්‍ර සූත්‍ර වැඩි ගණනක් අවශ්‍ය වනු ඇත.

ඒවා සපයාගැනීමට, යුද්ධයක් ඇති වී දහස් ගණන් ආයුධ අවශ්‍ය වන විට මැදිහත් වෙන ආකාරයෙන්ම, රාජ්‍යය ඍජුවම ඊට මැදිහත් විය යුතුය. එහිදී අනෙක් රාජ්‍යයන්ගේ සහයෝගීතාව මත විශ්වාසය තැබිය යුතුය. මිලිටරි ක්‍රියාදාමයකදී මෙන් තොරතුරු හුවමාරු කරගත යුතුය. සැලසුම් සම්පූර්ණයෙන් සම්බන්ධීකරණය කරගත යුතුය. මෙය, අද දවසට අවශ්‍යවන “කොමියුනිස්ට්වාදය” ලෙස මා අදහස් කරමි. එසේ නොවන්නේ නම්, විල් හටන් පවසන ආකාරයට: “මේ වනවිට, නියාමනය නොවන, අර්බුදකාරී තත්වයන්ට මගපාදන ආකාරයේ නිදහස් වෙළෙඳපොළ ගෝලීයකරණයට අයත් එක් ආකාරයක් නිශ්චිත ලෙසම අවසන් වෙමින් පවතී. එහෙත්, අන්තර් රඳාපැවැත්ම සහ සාක්ෂ්‍ය මත පදනම් වන සාමූහික ක්‍රියාකාරිත්වය ඔසවා තබන තවත් ආකාරයක් උත්පාද වෙමින් පවතී.”

ගෝලීය සම්බන්ධීකරණය සහ අනුග්‍රහය අවශ්‍යය

තවමත් ආධිපත්‍ය උසුලන මතය වන්නේ “සෑම රටම තමන් දෙසට” යන්නයි: “දේශීය වශයෙන් භාණ්ඩ හිඟය, වියවුල්කාරිත්වය වැනි හේතු මත උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් තමන්ගේම වූ විශ්ලේෂණයන්ට ඇද වැටුණු රටවල් විසින් වෛද්‍ය භාණ්ඩ වැනි ප්‍රමුඛ නිෂ්පාදන අපනයන සම්බන්ධව ජාතික තලයේ ක්‍රියාත්මක තහංචි පනවා ඇත.” විල් හට්න් ‘ගාර්ඩියන්‘ පුවත්පතට ලියමින් එසේ පවසා ඇත.
කොරෝනා වයිරස් වසංගතය විසින් සංඥා කරන්නේ හුදෙක්ම වෙළෙඳපොළ ගෝලීයකරණයේ සීමාව පමණක් නොවේ. පූර්ණ රාජ්‍ය ස්වාධිපත්‍ය අවධාරනය කරන, ජාතිකවාදී ජනප්‍රියවාදයේ මරණීය සීමාවන්ද එයින් සංඥා කෙරේ: ‘ඇමෙරිකාව පළමුවෙන්! යන අදහස අවසානය. (වෙනත් රටක් ගැනද එසේමය) මන්ද යත්, දැන් අමෙරිකාව රැකගත හැක්කේ ගෝලීය සම්බන්ධීකරණයක් සහ සහයෝගීතාවයකින් පමණකි.
මා මෙහිදී මනෝරාජිකවාදියකු නොවේ, ජනයා අතර පරමාදර්ශී සහයෝගිතාවක් වෙනුවෙන් මම ආයාචනා නොකරමි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, අප එකිනෙකාගේ පැවැත්ම වෙනුවෙන් ගෝලීය සහයෝගිතාව සහ සාමූහිකත්වය කෙතරම් වැදගත්ද යන්න වර්තමාන අර්බුදය මගින් පෙන්වා දී ඇත. එසේම කළ හැකි එකම තාර්කික සහ ආත්මකේන්ද්‍රීය ක්‍රියාව එය බවත් එහිදී පෙන්වා දෙනු ලැබ ඇත. එසේම එය හුදෙක් කොරොනා වයිරස් ගැන කාරණයක්ද නොවේ. මාස කිහිපයකට කළින් චීනය මහා සූකර උණ තත්වයකට මුහුණ දුන් අතර ඉදිරියේදී පළඟැටි උවදුරකට මුහුණ දීමට ආසන්නව සිටී.
ඔවන් ජෝන්ස් පැවසූ පරිදි, කාලගුණ අර්බුදය විසින් ලොව පුරා කොරෝනා වෛරසයට වඩා වැඩි ප්‍රමාණයක් ජනයා විනාශ කරමින් සිටින නමුත් ඒ සම්බන්ධව මෙතරම් භිතියක් ඇති වී නැත.
නරුම පරමවාදී ස්ථාවරයක සිටින අයකුට නම්, කොරෝනා වයිරසය යනු, මිනිස් වර්ගයාට මහල්ලන්, දුබලයන් හා රෝගීන්ගෙන් මිදීමේ ප්‍රතිලාභදායක ආසාදනයක් ලෙසත් දැකීමේ හැකියාව ඇත. වල්පැළැටි ඉවත්කර දමන්නා සේ ලෝකය පුරා සෞඛ්‍යය කෙරෙහි වාසියක් උදාකරවන්නක් ලෙස දැකිය හැකිය.
මා පෙනී සිටින පුළුල් කොමියුනිස්ට්වාදී එළඹුම, එවැනි ආචීර්ණකල්පික පරමවාදී ස්ථාවරයන් සැබෑ වශයෙන් පසුකරයාමේ එකම මාවතයි. පවතින විවාදයන්හිදී මතු වන්නේ කොන්දේසි විරහිත සහයෝගිතාව කප්පාදු කිරීමේ සංඥාවන්ය. එක්සත් රාජධානියේ වසංගතය තවදුරටත් ව්‍යසනකාරී වුවහොත් ‘ඥානවන්තයන් තිදෙනා‘ගේ භූමිකාව සම්බන්ධයෙන් අවධානය යොමුකරන පහත සටහන ඊට නිදසුනකි. “බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසයේ පැතිරයාම පාලනය කළ නොහැකි මට්ටමෙන් වර්ධනය වුවහොත් දැඩි සත්කාර ඒකකවලට ඒ වෙනුවෙන් කටයුතු කරන්නට සිදුවන බැවින් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ ප්‍රතිකාර සඳහා ජීවිතාරක්ෂක සේවා කටයුතු අත්හිටුවන්නට සිදුවිය හැකි බව එරට ජ්‍යෝෂ්ඨ වෛද්‍යවරු අනතුරු අඟවති.

ප්‍රකාශිත ආකාරයට ඊනියා ‘ඥානවන්තයන් තිදෙනකුගේ පාලනය‘ භාවිතයට ගැනෙන ක්‍රමයක් යටතේ, සෑම රෝහලකම ජ්‍යෝෂ්ඨ වෛද්‍ය විශේෂඥයන් තිදෙනකුගේ පාලනයට යටත් කෙරේ. රෝහල් රෝගීන්ගෙන් පිරී යන අවස්ථාවකදී ශ්වසන යන්ත්‍ර, රෝහල් ඇඳන් ආදී වශයෙන් ප්‍රතිකාර සහනයන් ලබාදීමද ඔවුන් විසින් තීරණය කෙරෙනු ඇත. ‘ඥානවන්තයන් තිදෙනා‘ කුමන නිර්ණායක මත තීන්දු ගනු ඇතිද? දුබලයන් හා වයෝවෘද්ධයන් කැපකිරීමෙන්ද? එවැනි තත්වයක් හුදෙක්ම මහා පරිමාණයේ දූෂිත තත්වයකට අවකාශය විවර කරන්නේ නැද්ද? උචිතයා පමණක් දිවි ගලවාගැනීමේ කෘරතම තර්කණය සම්මත කිරීමට අප සූදානම්වන බවක් එවැනි ක්‍රියාවලියකින් නිරූපණය නොවන්නේද?
ඉතින්, නැවතත් අවසානාත්මක තේරීම වන්නේ මෙවැනි හෝ යම් ආකාරයකින් පුනර්ජනනය කළ කොමියුනිස්ට්වාදයයි.