தமிழ்
English
Contact
Friday 29th May 2020    
බිලියනයක් වන්නට නියමිත කොරෝනා අරමුදල් ගැන ප්‍රශ්න කෙරේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බිලියනයක් වන්නට නියමිත කොරෝනා අරමුදල් ගැන ප්‍රශ්න කෙරේ !



ලංකාවේ කොරෝනා වසංගතය වැළැක්වීම සඳහා දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් ලැබෙමින් පවතින අරමුදල් සම්බන්ධ අවදානමක් ඇති බව සමාජ ජාලා ඔස්සේ අදහස් පළ වී ඇත.

විශේෂයෙන්ම, ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ලාංකික ශිෂ්‍යයන් සඳහා රු. 58,000ක් වැනි අසාමාන්‍ය මුදලක් අය කිරීම ගැන එම ශිෂ්‍ය පිරිසගේ මව්පියන් චෝදනා එල්ල කර ඇත. කොරෝනා ආපදාව වෙනුවෙන් ලැබෙන අරමුදල් එවැනි අවස්ථාවල රජයේ වියදම් ලෙස භාවිත නොකිරීම පිළිබඳ විමතියද පළ වී ඇත. මෙම චෝදනා එල්ල වීමේදී පසුගිය කාලයේ මෙවැනි පොදු අරමුදල් සම්බන්ධ රාජ්‍ය නායකයන්ගේ ක්‍රියාමාර්ගවල ගැටලු හේතු වී ඇත. ආණ්ඩුවේ නායකත්වය විසින් මින් පෙරාතුව මහජනයාගෙන් සහ වෙනත් ආධාර සංවිධාන හරහා ලබාගත් අරමුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලබා ඇති චෝදනා සළකා බලමින් මෙම අදහස් පළ වී ඇත. 2004 සුනාමි ව්‍යසනය නිසා ලෝකයේ විවිධ රටවලින් ඇදී ආ ආධාර වංචනික ලෙස භාවිත කළ බවට වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ වෙත චෝදනා එල්ල වූ නමුත් ඒවා තහවුරු කිරීමට නොහැකි විය. එවකට අගවිනිසුරු සරත් එන් සිල්වා පසුකාලයකදී පවසා තිබුණේ තමන් එහිදී ‘හෙල්පින් හම්බන්තොට’ වංචාවට ලක්වූ මහින්ද ආරක්ෂා කිරීම වෙනුවෙන් කළ කාර්යභාරය ගැන පසුතැවෙන බවය. එහිදී හිටපු අගවිනිසුරුවරයා අනියමින් පවසන්නේ හිටපු ජනාධිපතිවරයා වංචා චෝදනාවෙන් ගලවාගන්නට තමන් මැදිහත් වූ බවය.

එපමණක් නොව, යුද සමයේ ජනතාවගෙන් හා විවිධ ආධාර මූලාශ්‍රවලින් ඒකරාශි කළ ‘රණවිරු අරමුදල’ වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් මතු වූ චෝදනා හිටපු ජනාධිපතිවරයා සහ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස වත්මන් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරන ලදී. ඒ වෙනුවට චෝදනා කළවුන් මර්දනය කිරීමේ පියවරයන් ගනු ලැබිණි. කෙසේවෙතත් රණවිරු අරමුදලේ වියදම් සම්බන්ධයෙන් කිසිදු විගණනයක් සිදුව නැති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් මේ දක්වා ලැබී නැත. විශේෂයෙන් රණවිරු නිවාස යෝජනා ක්‍රමයේදී සොල්දාදුවන්ට ලබාදුන් නිවාස සඳහා මුදල් අයකිරීමත් සමග රනවිරු අරමුදල ඒවා ඉදිකිරීමට වැය කෙරෙන බවට ප්‍රචාරය කළද සොල්දාදුවන්ට එහි ප්‍රතිලාභ හිමි නොවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරිණි.

මේ වනවිට විදේශ රටවල් හා ජාත්‍යන්තර සංවිධානවලින් පවා අති විශාල අරමුදල් ගලා එමින් තිබේ. මෙම අරමුදල් අවසානයේ ජනතා අවශ්‍යතා සඳහා වැය කෙරෙන්නේදැයි ප්‍රශ්නයක් ජනතාව අතර මතු වෙමින් තිබේ. ආණ්ඩුවක් පරාජයවනවිට සිදුවන්නේ ට්‍රිලියන ගණනින් රාජ්‍ය ණය එකතුවීමෙන් අවසානයේ ජනතාව ජීවිත කාලය පුරා ණයකරුවන් වන්නේද පාලකයන්ගේ වැරදි පිළිවෙත් නිසාය.

මේ වනවිට රටතුළ කොරෝනා සහන අරමුදල් වශයෙන් විශාල මුදලක් එකතු වෙමින් තිබේ. “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” නමින් නම් කෙරුණු මෙම අරමුදල් ගිනුමට ජනාධිපති අරමුදලින් ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක්  වෙන් කෙරිණ. පසුව විවිධ පුද්ගලයන් හා ආයතන හරහා අරමුදලට අති විශාල මුදල් සම්භාරයක් ලැබෙමින් තිබේ. නිදසුනක් ලෙස ශ්‍රී දළදා මාළිගය භාර අරමුදලෙන් රුපියල් මිලියන 10ක්, මල්වතු සහ අස්ගිරි උභය විහාරයෙන් මිලියන 10ක් අරමුදලට ලැබී ඇත. පසුගිය දා කැබිනට් ඇමතිවරුන්ගේ මසක වැටුප් එම අරමුදලට ලබා දෙන්නට තීරණය විය.

දේශීය මට්ටමෙන් මේ වනවිට රුපියල් මිලියන 900ක් පමණ එම අරමුදලට ඒකරාශි වී ඇතත් එම මුදල් ජනතා අවශ්‍යතා වෙනුවන් වියදම් කරන්නේ කෙසේදැයි සමාජ ජාල තුල මෙන්ම සාමාන්‍ය ජනතාව අතර කුකුසක් හටගෙන ඇත. මෙම පසුබිම තුළ කොරෝනා අරමුදල් සම්බන්ධ විනිවිදභාවයක් අවශ්‍ය බවත් කොරෝනා අරමුදල ඇත්ත වශයෙන්ම පීඩාවට පත්ළුූවන් වෙනුවෙන් යෙදවෙන්නේද නැත්නම් පාලකයන්ගේ පටු දේශපාලන ව්‍යාපෘති සඳහා යොදවන්නේද යන්න ගැන විමසිලිමත් වියයුතු බවත් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකරනවුන් කරුනු දක්වා ඇත.