தமிழ்
English
Contact
Thursday 5th December 2019    
රයන් පැහැරගැනුමේ උත්සාහය තුළ ශිෂ්‍ය ක්‍රියාකාරින් බියවැද්දීමේ අරමුණක් තිබේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රයන් පැහැරගැනුමේ උත්සාහය තුළ ශිෂ්‍ය ක්‍රියාකාරින් බියවැද්දීමේ අරමුණක් තිබේ!



පසුගියදා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැරගැනීමට ගත් උත්සාහය හුදු පැහැරගෙනයාම සදහා පමණක් නොව ශිෂ්‍ය ක්‍රියාකාරින් භීතියට පත්කිරීමේ උත්සාහයක් බව කම්කරු අරගල මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුවගේ අත්සනින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.


මර්දනයට එරෙහි වෙමු! ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්ව එක් වෙමු!

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහෝදරයා පසුගිය 20 වැනිදා සවස 5.00ට පමණ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිසියේ යැයි කියා ගත් පිරිසක් විසින් පැහැර ගැනීමට උත්සාහ කළේය. රාජපක්ෂ පාලනය සමයේ සුදු වෑන් මගින් පුද්ගලයන් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම් සිහිපත් කරවන ආකාරයට මෙම පැහැර ගැනීම සැලසුම් කර තිබුණේ රයන් ජයලත් සහෝදරයා පැහැර ගැනීමට අමතරව ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් හා සමාජ ක‍්‍රියාකාරීන් භීතියට පත් කිරීමද ඉලක්ක කර ගෙන බව පැහැදිලිය.

වෛද්‍යවරුන්, වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයන් හා ශිෂ්‍ය නියෝජිතයන් මැදිහත් වී මෙම පැහැර ගැනීම ව්‍යර්ථ නොකළේ නම් තමන් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බව පැවසීමට වුවත් පොලිසිය ක‍්‍රියා කරනු ඇතැයි සිතිය හැකිය. එපමණක් නොව කොණ්ඩ සහ රැවුල් වවා ගත්, කරාබු දැමූ පුද්ගලයන් පැහැර ගැනීමට පැමිණි පිරිස අතර සිටීමෙන් පෙනෙන්නේ රාජපක්ෂ පාලන සමයේදී මෙන්ම වත්මන් ශ‍්‍රීලනිප-එජාප හවුල් පාලනය තුළද නිල නොවන මට්ටමින් පැහැර ගැනීමේ කල්ලි පවත්වාගෙන යන බවයි. මෙම කරුණ සමාජය විසින් බරපතළ ලෙස සිය අවධානයට ලක් කළ යුතු බව අපි අවධාරණය කරමු.

සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය ප‍්‍රමුඛ වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මෙන්ම විවිධ මහජන සංවිධානද ගෙන යන අරගලය හේතුවෙන් ආණ්ඩුව බරපතළ අර්බුදයකට පත්ව තිබේ. සයිටම් අහෝසි කරන ලෙස දැවැන්ත ජනතා මතයක් ගොඩනැගී තිබේ. ඊට මුහුණ දිය නොහැකිව, අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාවන් පෞද්ගලිකකරණය කිරීමේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමට නොහැකිව සිටින ආණ්ඩුව එම මහජන මතය දුර්වල කිරීමටත් මහජන මතයට නායකත්වය දෙන සමාජ ක‍්‍රියාකාරීන් මර්දනය කිරීමටත් උත්සාහ ගනිමින් සිටින බව පැහැදිලිය. රට පුරා ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් පැහැර ගැනීමට උත්සාහ කිරීම්, බිය වැද්දීම්, ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පෞද්ගලිකවම මැදිහත් වී ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ට පහරදීම් වැනි සිදුවීම් මගින් පෙනෙන්නේ ආණ්ඩුව මෙම අරගලය හමුවේ පත්ව තිබෙන අසීරුතාව කොතෙක්ද යන්නයි.

මේ නිසා මේ මොහොතේ සයිටම් අහෝසි කරන ලෙසත් අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලිකකරණය නොකරන ලෙසත් බල කරමින් ගෙන යන අරගලය දුර්වල නොකර, එය තව තවත් ශක්තිමත් කරමින් අඛණ්ඩව පවත්වා ගෙන යාමටත් රාජ්‍ය මර්දනය පරාජය කිරීම සඳහාත් එක් වන ලෙස සියලූ ප‍්‍රගතිශීලී ජනතා බලවේගවලට අපි ආරාධනා කරමු.

දුමින්ද නාගමුව
සංවිධායක ලේකම්
කම්කරු අරගල මධ්‍යස්ථානය
2017.07.22