தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
Xpress Pearl නැවේ ප්‍රශ්නයෙන් 'වාරකන් ඇමති'ගෙ පට්ටම අහිමි වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

Xpress Pearl නැවේ ප්‍රශ්නයෙන් ‘වාරකන් ඇමති’ගෙ පට්ටම අහිමි වේ!



Xpress Pearl නෞකාවෙන් කළ පාරිසරික් හානිය හේතුවෙන් මිය ගිය මුහුදු ජීවි මළසිරුරු වෙරළට ගොඩගැසීම වසන් කරමින් වාරකන් කාලයේ සත්ව සිරුරු ගොඩ ගසන බව කී වෙරළ සංරක්ෂණ ඇමති නාලක ගොඩහේවාගේ තනතුර අහිමි වී ඇත.

ආණ්ඩුවේ මුග්ධකම් නිසා ලංකාවේ සමුද්‍ර පරිසරයට මාරාන්තික හානි සිදුවන බව දැන දැන දේශපාලන බල්බැලකම නිසා ඒ බව වසන්කිරීමට තැත් කිරීමෙන් නාලක ගොඩහේවා මහත් අප්‍රසාදයට පත් විය. සමාජ මාධ්‍ය තුළ පමණක් නොව, ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායමේ උපහාසයටද ඔහු ලක්ව තිබිණි. මේ නිසා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවල නිලධාරින් සමග කටයුතු කිරීමට පවා ඔහුට දුෂ්කර වූ බව අමාත්‍යාංශ මූලාශ්‍ර අනාවරණය කර තිබිණි.

අද (17) නිකුත් වූ ගැසට් නිවේදනයකින් විෂය පථයන් වෙනස් කළ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනා අතර නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමති නාලක ගොඩහේවාද සිටී. ජනාධිපති ලේකම්වරයා විසින් අත්සන් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව, මොහාන් ප්‍රියදර්ශන සිල්වා වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංරක්ෂණ රාජ්‍ය ඇමති ලෙස නම්කර ඇත. වෙරළ සංරක්ෂණ විෂය අහිමි කිරීමෙන් පසු, නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නව ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත .

මේ ගැසට් නිවේදනය මගින් විෂය පථයන් සංශෝධනය කර ඇති අනෙක් රාජ්‍ය ඇමති වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂය. ඔහු, කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැලසුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම ගැසට් පත්‍රයේ සඳහන් වේ .