Posted on 08.19.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයත් ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට පවරා දීම සඳහා ආයෝජකයන්ට ආරාධනා කිරිමේ අරමුණකින් ආණ්ඩුව කටයුතු කරන බව දැනගැනීමට ලැබිණි.
2012 වසරේ අයවැය සාකච්ඡාවේදී තීරණය කළ පරිදි කලාකරුවන්ගේ අවශ්‍යතා අනුව ජෝන් ද සිල්වා සමරු රඟහල නවීකරණ කටයුතු සිදුකිරීමට රජය පොරොන්දු වී එහි වගකීම සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට පැවරීමට තීරණය කලේය.
ඒ වනවිටද ඉතා අබලන් තත්වයක පැවති ජෝන් ද සිල්වා සමරු රඟහලේ වේදිකාව මෙන්ම රංගාලෝක පද්ධතිය , ශබ්දවාහිනී පද්ධතිය හා භා ප්‍රේක්ෂක ආසන ද භාවිතකිරීමට අපහසු තත්වයක පැවතිනි. මෙම රඟහලේ වායුසමීකරණය කර නොමැති නිසා වැසි දින වල මෙන්ම අධික උණුසුම් දිනවල දී නාට්‍ය රසවින්දනයට ප්‍රේක්ෂකයන්ට බාධා ඇතිවිය. මෙම වෙනස්කර පොදු ප්‍රේක්ෂක බාවිතය සඳහා සුදුසු අන්දමින් නවීන තාක්ෂණයෙන් යුක්තව ජෝන් ද සිල්වා සමරු රඟහල ඉතා ඉක්මනින් නවීකරණය කිරීමටත් , නවීකරණයෙන් පසුව පහසු මිලට කලාකරුවන්ට ජෝන් ද සිල්වා සමරු රඟහල ලබාදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බව එවකට රාජ්‍ය බලධාරිහු පොරොන්දු දුන්හ..
මහල් හතරකින් යුත් ජෝන් ද සිල්වා සමරු නැවත ඉදිකිරීමේ කටයුතු 2014 වසරේ නොවැම්බර් 10 දින ආරම්භ කළ අතර ඒ අනුව ජෝන් ද සමරු රඟහල නවීන තාක්ෂණික උපකරණ හා පහසුකම් සහිතව නවීකරණයකිරීමටත්, නව කාර්යාල සංකීර්ණයක් , නව ආපන ශාලාවක් හා රථගාලක් අලුතින් ඉදිකිරීමටත් සැලසුම් ඉදිරිපත් විය. ඒ අනුව ඉදිකරන්නට යෝජිත ජෝන් ද සිල්වා රඟහල ආසන 800 කින් සමන්විත වෙයි. ආසන 200 කින් යුත් බැලැක් බොක්ස් රඟහලක්ද, වර්ග අඩි 650 ක දේශන ශාලා දෙකක් ද, වර්ග අඩි 2800 ක පුහුණුවීම් ශාලාවක්, නේපත්‍යාගාර දෙකක්, ඇඳුම් මාරුකිරීමේ කාමර දෙකක්, කලාකරු විවේකාගාරයක්, නවීන ආපනශාලා සංකීරණයක්, කාර්යාල සහසුකම්, අති නවීන ආලෝකකරණ පද්ධතියක් හා ශබ්දවාහිනී පද්ධතියක්, ආදී පහසුකම් වලින් සමන්විත වෙයි.
මහජන ධනයෙන් මේවා ඉදිකර පෞද්ගලික අංහයේ ලාභ උපයාගැනීමේ අවස්ථාවක් ලෙස පවරා දෙන්නට ආණ්ඩුව දරන උත්සාහයට කලාකරුවෝ විරෝධය පළ කරති. මේ පිළිබද විවිධ අවස්ථාවල කලාකරුවෝ එක්ව විරෝදය දැක්වූහ. එහෙත් බලදාරීහු මෙම පෞද්ගලිකකරණ සැලැස්ම අත්හැර දමන බවට තවමත් නිශ්චිත පිළිතුරක් ලබා දී නැත. මේ නිසා වහාම සංවිධානය වී ජෝන් ද සිල්වා රගහල ප්‍රේක්ෂක අයිතින් සුරැකීමට පෙළ ගැසිය යුතුව තිබේ.

ඉදිකිරිම් අවස්ථා