Posted on 01.31.2018 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත with 0 Comments
ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදීම උදෙසා ආණ්ඩුව ගෙන ආ මැතිවරණ ක‍්‍රමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොලැබුණු බවද විකල්ප අදහස් දරන පක්ෂ වලට මෙම මැතිවරණයට ඉදිරිපත් වීම වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ‘‘නොරැවටෙමු නැගීසිටිමු’’ යන මැයෙන් ඊයේ(30) පිලියන්දල නගරයේ සංවිධානය කරන ලද රැලිය ඇමතූ එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, මේ බව ප‍්‍රකාශ කළේය.
තවදුරටත් ඔහු මෙසේ අදහස් පළකළේය.
“දැන් මැතිවරණ කොමසාරිස් කියනවා මේ ඡන්ද කාලේදී උද්ඝෝෂණය කරන්න එපා, ඡන්දය විතරක් කරන්න කියලා. පාර්ලිමේන්තු බැදුම්කර විවාදය 08 වෙනිදට ගේනවා කියපු කාලේදී එයාට හාවාගේ අසනීපය හැදෙනවා. නමුත් ඒ හාවා, මේ රටේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කරනකොට හිවලෙක් වෙනවා. මොකද මෛතී‍්‍ර-රනිල්ගේ නෝක්කාඩුවේදී මැතිවරණ කොමසාරිස්ට පැත්තක් ගන්න බැරි නිසයි. ඒත් රටේ බැංකු සේවකයො විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සහ ගොවියෝ කරන සටන් ඔහුට දිරවන්නේ නෑ. එහෙමයි ඔවුන් මේ බලතන්ත‍්‍රය ආරක්ෂා කරන්නේ. ඒ නිසයි ඡන්ද කාලේදී, ඡන්දෙට විතරක් දේශපාලනය කරන්න කියන්නේ. අපි කියන්නේ ඡන්දේ ඇතුලේ මේ ඔක්කොම උද්ඝෝෂණ ඉස්සරහාට ගන්න ඕනේ කියලා. මොකද ඡන්ද කාලෙට විතරයි මොවුන් අපේ ගෙවල් වලට එන්නේ. අනිත් කාලෙට ජනතාව අමතකවෙනවා.
2015 බලය ගන්න මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සුරංගනා කතා කිව්වා. ඒ දවස්වල මේ අයගේ කටේ තිබ්බේ ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැලිගොඩ, ලලිත්ලා කූගන්ලා ගැනයි, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැනයි. ජනාධිපතිතුමනී දැන් ඔබට ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැලිගොඩ මතකද? ඒ අය ගැන දන්නව ද? ලලිත්ව කූගන්ව අඳුනනවාද? දැන් ඒ ගැන අපි කතා කරද්දී ආණ්ඩුව ගැරඬියට භූමිතෙල් ගැහුවා වගේ හැසිරෙනවා. දැන් මෛත‍්‍රීගේ ප‍්‍රශ්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නෙවෙයි. ඔහු විසින්ම එපා කියලා අවුරුදු පහකට අඩු කරගත්ත ජනාධිපති ධූරය, තව අවුරුද්දකින් දික් කරගන්න එකයි දැන් ඔහුගේ ප‍්‍රශ්නේ. හැබැයි සෝභිත හාමුදුරුවන්ගේ ආදාහන උත්සවයට ගිහින් දණගහල පොරෙන්දු වුනේ මං විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට උපන්නෙමි, නැවත මගේ දෙවනි ගමනක් නැත කියලයි. හැබැයි දැන් ඔහු ලෑස්ති වෙනවා දෙවෙනි පාරට ජනපතිවරණයට ඉල්ලන්න. ඒ විධායක ක‍්‍රමය අහෝසි කරන්න නම් නෙවෙයි. 2015 දී අපි කිව්වා ඔය බොරුවට අහුවෙන්න එපා, ඕක මිනිස්සුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන තියන උවමනාව, කැමැත්ත කොල්ලකන්න කියපු බොරුවක් කියලා. ඒක දැන් ඒ විදියට වෙලා තියනවා.
දැන් මේ ආණ්ඩුව වැඩිහිටි ජනතාවට සලකන විදිහ ගැන කතා කළොත්ත ඔබ දන්නවා අවුරුදු හැත්තෑවට වැඩි වැඩිහිටියන්ට සහනාධාරයක් දෙනවා කියලා. සමාජ සවිබල ගැන්වීම් දෙපාර්තමේන්තුව චක‍්‍රලේඛණයක් නිකුත්කරලා තියනවා මේ සහනාධාරය කපන්න. 2016/01 චක‍්‍රලේඛණයට අනුව ගෙදරක වැඩිහිටියන් කිහිප දෙනෙක් සිටිනවා නම් සහනාධාර ලැබෙන්නේ වැඩිහිටියන් දෙදෙනෙකුට පමණයිත ගෙදර ඉන්නේ වැඩිහිටියෝ දෙදෙනෙක් නම්, ඔවුන් දෙදෙනා විවාහකයි නම් සහනාධාරය ලැබෙන්නේ එක්කෙනෙකුට පමණයි කියලා. අවුරුදු 50 ක් 60ක් එකට දීගකාපු ඒ අයට දැන් රු. 1900ක සොච්චමක් ගන්න දික්කසාද වෙන්න කියලයි ආණ්ඩුව කියන්නේ. හැබැයි බොරුවට රැස්වීම් වලදී වැඩිහිටියන්ව බදාගන්නවා. ඒත් වැඩිහිටියන්ට ඇත්තටම සලකන්නේ මේ විදියටයි.
එතකොට සහනාධාර ලබන දුප්පතුන්ටත් සලකන්නේ ඒ ආකාරයටමයි. සමෘද්ධි සහනාධාර කපාගෙන යද්දී, මිනිස්සු ඒ ගැන ඇහුවම ආණ්ඩුව කිව්වේ අපි සහනාධාර කැපුවේ නෑ, ඒක සමෘද්ධි නිලධාරීන් කරන වැඩක් කියලා. එතකොට සමෘද්ධි නිලධාරීන් සහනාධාරය කපන චක‍්‍රලේඛණය ප‍්‍රසිද්ධ කළා. එහි සඳහන් වන්නේ පවුලේ ගෘහ මූලිකයා උසස් පෙළ සමත්නම් හො පවුලේ සාමාන්‍ය පෙළ සමත් අය සිටීනම් හෝ ගෙදරට ස්ථීර වහලක් ඇත්නම් සහනාධාර නෑ කියලා. මේක තමා ආණ්ඩු වල ප‍්‍රතිපත්තිය.
දැන් හාල් සීයයි පොල් සීයයි. ආණ්ඩුවට හාල් මිල අඩුකරගන්න බෑ. දැන් මෛති‍්‍ර කියනවා ආර්ථිකය තමන් අතට ගන්නවා කියලා. අපි කියනවා ඊට ඉස්සරලා හාල් මාෆියාව අතට ගන්න කියලා. කවුද හාල් මාෆියාවේ ඉන්නේ, මෛතී‍්‍රපාලගේ සහොදරයයි. වී කිලෝ එකක් රු. 45යි. ආණ්ඩුව වී ගත්තේ රු. 45ටයි. ඒ මගින් හාල් කිලෝවක මිල ගණනය කරන සූත‍්‍රයක් තියනවා. වී කිලෝවක මිල රු. 45යි නම් (45+3)/3=16, 16×5= රු.80යි. ඒක තමයි තොග ව්‍යාපාරිකයෝ ලාභයක් ඇතුව හාල් විකිණිය යුතු මිල. ඒත් හාල් වලට සහතික මිලක් නෑ. හාල් මිල ගැසට් කළාට වෙළඳපොලේ ඒ ගාණට විකුණන්නේ නෑ. රු. 80ට දෙන්න පුලූවන් හාල් කිලෝව රු. 110ට රු. 115ට විකුණනවා. මිනිස්සුන්ගේ බත්පතින් හොරකම් කරන මේ වංචාව මෛතී‍්‍රට පේන්නේ නැද්ද? මෛතී‍්‍ර ඉපදෙනකොට ගොවියාගේ පුතා වුණත් දැන් ඔහු හාල් මෝල් හිමියාගේ සහෝදරයායි. ආණ්ඩුව රකින්නේ හොවියාවත්, පාරිභෝගිකයාවත් නෙවෙයි, හාල් මෝල් හිමියාවයි. “
මෙසේ අදහස් ප‍්‍රකාශ කළ ඔහු තව දුරටත් පැවසූවේ මැතිවරණ ක‍්‍රමයට පමණක් සීමා වූ දේශපාලනයකින් රටේ ප‍්‍රශ්න විසදිය නොහැකි බවත් ඒ සඳහා ජනතාව සංවිධානය විය යුතු බවත් අවධාරණය කළේය.

