Posted on 10.30.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ දේශපාලන පක්ෂ විසින් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් වන්නේ නැති බවද එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කන්ග් පවසයි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී ලංකාවේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම ප්‍රකාශකයා මෙම බව පවසා තිබේ.
වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු මෙසේ පවසා ඇත.
“චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍රශීලි අසල්වැසියන්. ශ්‍රී ලංකාවේ තත්ත්වය අපි සමීපව බලා සිටිනවා. චීනය සෑම විටම අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය අනුගමනය කරනවා. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය එරට අභ්‍යන්තර දේශපාලන අර්බුදයක්. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට සහ එරට ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය බුද්ධිය තිබෙන බව අපි විශ්වාස කරනවා”.
ලංකාවේ බලමාරුවක් සිදුවූ විගසම චීන තානාපති ෂෙන්ග් සියුවාන්, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ හමුවීමට යාම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා මෙසේ පිළිතුරු දී ඇත.
“ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සමඟ අපි සන්නිවේදනය කරනවා. ඔවුන් සමඟ සබඳතා පවත්වා ගන්නවා. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා නව අගමැතිවරයා හා වික්‍රමසිංහ මහතා හමුවුණා. තානාපතිවරයා ඔවුන් සමඟ ද්විපාර්ශවීය සබඳතා සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තා”.