Posted on 09.19.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාන් පිටි කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 5කින් අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (18දා) තීරණය කර තිබුණි.
ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වෙළෙඳ හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කර ඇත්තේ පාන් පිටි මිල වැඩි කිරීම පෞද්ගලික සමාගම ඔවුන්ගේ හිතුමනාපයට සිදුකර තිබෙන බවයි .
එසේම ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලොවක සිල්ලර මිල රු 5.00 කින් ඉහල දැමීමට කටයුතු කර ඇත්තේ තම අධිකාරියට දැනුම්දීමකින් තොරව බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
මේ අනුව තිරිඟු පිටි මිල වැඩි කිරිම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එකී පනතේ විධිවිධාන ප්‍රකාරව අදාල නිෂ්පාදකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
එමෙන්ම අධිකාරිය විසින් තිරිගු පිටි කිලෝවක් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල වන රු 87.00 ක් ඉක්මවා තිරිගු පිටි අලෙවි කරන වෙළෙඳුනට එරෙහිව වැටලීම් සිදුකර වහාම නීතිමය පියවර ගන්නා ලෙස ද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබා දී ඇති බවද මෙම නිවේදනයේ දැක්වී තිබේ.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 2015 පෙබරවාරි 20 නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයකට අනුව තිරිඟු පිටි සඳහා රු 87.00 ක පාලන මිලක් රජය විසින් නියම කොට තිබේ. ඒ අනුව නිෂ්පාදන සංගම්වලට අධිකාරියේ අවසරයකින් තොරව මිල වැඩිකිරීම යනු එම නීතිය කඩ කිරීමකි.
නමුත් ප්‍රීමා සමාගම සතුව තිබූ තිරිඟු පිටි ඒකාධිකාරිය බිඳ දැමීමට වෙනත් සමාගමකට පිටි නිෂ්පාදනය ලබා දුන්නද එහි වැඩි පංගුව පවතින්නේ ප්‍රීමා සමාගම සතුවයි. මේ අනුව ආණ්ඩුව පාලන මිල, මිල සූත්‍ර හරහා භාණ්ඩ වල මිල පාලනය කරන බව පැවසුවද එය පුස්සක් බවට පත්ව ඇති බව දක්නට ලැබේ.
පාන් පිටි මිල වැඩිකිරීමත් සමඟ බේකරි නිෂ්පාදන මිලද වැඩි කිරීමට ද බේකරි සංගම් තීරණය කර තිබුණි.