தமிழ்
English
Contact
Thursday 21st October 2021    
ඉන්ධන මිලදී ගැනීම සඳහා ඕමානයෙන් ඩොලර් බිලියන 3.6ක ණයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඕමානයෙන් ඩොලර් බිලියන 3.6ක ණයක්



ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ලබාදීමට ඕමාන් රාජ්‍ය එකඟ වී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. ඊට අදාල ගිවිසුම නුදුරේදීම අත්සන් කරන බවද ඇමතිවරයා සඳහන් කර තිබේ.

එම ණය මුදල නැවත පියවීම සඳහා වසර 20 ක කාලයක් ගතවනු ඇත. ණය මුදල ගෙවීම සඳහා වසර 05 ක සහන කාලයක්ද ලබාදීමට ඕමාන් රජය එකඟ වී ඇතැයි පැවසේ.

මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය මුදල් නොමැතිවීම හේතුවෙන් අර්බුදයකට පත්ව ඇති බව රජය පවසයි. මීට අමතරව මීට පෙර මිලදී ගත් ඉන්ධන වෙනුවෙන් රාජ්‍ය බැංකු වෙත ගෙවීමට ඇති ණය සඳහා මුදල් සොයා ගැනීමේ අර්බුදයකටද මුහුණ දී සිටී. පසුගියදා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ ඕමාන් රජය එකඟ වී ඇති ණය මුදල නොලැබුණහොත් ඉන්ධන මිල වැඩි කිරීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවයි.

මේ අතර අවස්ථා කිහිපයකදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමතිවරයාගෙන් ඉල්ලා තිබුණේ ඉන්ධන මිල වැඩි කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසයි. මේ වනවිටත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 18 ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 30 ක් පාඩු ලබන බව සංස්ථාවේ සභාපතිවරයා ඊයේ දිනයේදීද ඇමතිවරයා වෙත දන්වා තිබෙනවා.

ඕමාන් රාජ්‍යයෙන් ලැබීමට නියමිත මෙම බිලියන 3.6 ක ණය මුදල වසරක කාලයක් සඳහා ඉන්ධන මිලදී ගැනීමට ප්‍රමාණවත් වේ. මේ අතර ඉන්දියාවෙන්ද ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් බලාපොරොත්තුවෙන් සිටී.