Posted on 09.24.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මාතර, පොල්හේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලක නිරෝධායනය වෙමින් සිටි රුසියානු ජාතිකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ. මාතර මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පවසන ආකාරයට ආසාදිතයාගේ ආශ්‍රිතයින් 150ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇත.
මෙම රුසියානු ජාතිකයා එරට ගුවන් සමාගමක කාර්ය මණ්ඩල සාමාජිකයෙක් බව වාර්තා වේ.
මෙම රුසියානු ජාතික ගුවන් කාර්යය මණ්ඩලයේ සාමාජිකයා ඇතුළු 15 දෙනෙකු පසුගිය 13 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙරටට පැමිණ තිබේ.
එහිදි පී.සි.ආර් පරික්ෂණ සිදුකර ඇති අතර කිසිදු පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරුව තිබේ.
ඒ අනුව එම කණ්ඩායම නවාතැන් ගැනීම සඳහා පැමිණ ඇත්තේ, මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයකටය.
එම හෝටලයේ නවාතැන් ගෙන සිටින අතරවාරයේ මෙම රුසියානු කණ්ඩායම පෞද්ගලික රෝහලකින් දෙවැනි පී.සි.ආර් පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදි මෙම පුද්ගලයා ආසාදිතයෙක් බවට හඳුනා ගැනුණි.
ඒ අනුව ඊයේ(23) රාත්‍රියේ මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් එම හෝටලයට පැමිණ ආසාදිතයා පරීක්ෂාවට ලක්කර තිබේ.
මාතර මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පවසන්නේ, මෙම රුසියානු කණ්ඩායම මාතර නගරයේ ආ ගිය තැන් පිළිබඳව මේ අවධානය යොමුකර ඇති බවය.
ඒ අනුව ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථයේ රියදුරු, ඔහුගේ පවුලේ සාමාජිකයින්, මෙම කණ්ඩායම මාතර හෝටලට පැමිණි වෑන් රථයේ රියදුරු හා සහයක මෙන්ම හෝටලයේ කාර්යය මණ්ඩලයේ 24 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර තිබේ.