ධීවරයන් 20,000ක් මුහුදු යෑම වර්ජනය කරයි
Posted on 02.05.2016 by Nishshanka in දේශීය පුවත් with 0 Comments
තහනම් පන්න ක‍්‍රම යොදා මසුන් මැරීමට ආණ්ඩුව බලපත‍්‍ර දීමට විරෝධය පළ කරමින් පුත්තලම දිස්ත‍්‍රික්කයේ වෙරළාසන්න ධීවර කාර්මිකයෝ විසි දහසක පමණ පිරිසක් මුහුදු යෑමෙන් වැළකී විරෝධතාවක යෙදුණහ. පසුගිය 03 වැනිදා පැවැත් වූ මෙම විරෝධතාව හේතුවෙන් පුත්තලම වෙළෙඳ තීරයේ මත්ස්‍ය වෙළෙදාමක් සිදු නොවූ අතර මත්ස්‍ය වෙළෙඳසැල් පාළුවට ගොස් තිබූ බව වාර්තා විය.
එම ධීවරයන් ඔවුන්ගේ ධීවර බෝට්ටු වෙරළෙහි නවතා, තහනම් පන්නා ක‍්‍රමය යොදාගෙන මසුන් මැරීමට ලබාදී ඇති බලපත‍්‍ර අවලංගු කරන්නැයි රජයට බලකරමින් මේ විරෝධතාවයේ යෙදී සිටියහ. ධීවරයන්ගේ මේ විරෝධතාව හේතුවෙන් මේ අතර හලාවත මල්වත්ත ප‍්‍රදේශයට ලොරිවලින් මාළු ගෙන ගිය මත්ස්‍ය ව්‍යාපාරිකයන්ට නැවත පැමිණීමට සිදුව ඇත්තේ හිස් අතිනි.
පසුගිය දින කිහිපයක් තිස්සේම පුත්තලම, මීගමුව ආශ‍්‍රිත මුහුදු තීරයේ මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්වූ අතර නමුත් මේ විරෝධතා සඳහා තවමත් ආණ්ඩුවේ නිසි අවධානයක් යොමුවී නොමැති බව ප‍්‍රදේශවාසී ධීවරයෝ ප‍්‍රකාශ කළහ.
පසුගිය කාලයේ ධීවර ක්ෂේත‍්‍රයේ පැවැති මෙවැනි විරෝධතා බොහෝමයක් අතරමඟ නැවතුණු අතර ඒ බොහෝමයට හේතුවී තිබුණේ පල්ලිය හෝ කිසියම් බල අධිකාරියක් මැදිහත්වී ඒවාට ආණ්ඩුව හරහා විසඳුම් ලබා දෙන බවට දුන් පොරොන්දු නිසා බවද ධීවරයෝ අප හා ප‍්‍රකාශ කළහ. තවද මෙම උද්ඝෝෂණ සඳහා මැදිහත් වන ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව හරහා මේ දිනවල ධීවරයන්ගේ විශාල කතාබහට ලක්ව තිබෙන වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යට ගැසීමේ උත්සහයක්ද පවතින බවට සැක කරන ධීවරයෝ ඒ පිළිබඳ අවධානයෙන් සිටින බවද අප හා පැවැසීය.
Related News